දවසක් දා හැන්දෑවක…!

“ජිවිතයේ තනිමංසල
අතරමංව හිටි මොහොතක
සිනා සිසී ඔබ ආ හැටි
අද වාගේ මතකයි මට”

 

romance12pic

දවසක් දා හැන්දෑවක, සරසවියේ බංකු කොනක ඉදගෙන ඔබේ අත පිරිමදින විට ඔබ මගේ කනට කෙදිරුවේ

ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්යයි
පාරිශුද්ධයි සුරම්යයයයි

දොඩන වදනින් ඇසෙයි නිරතුරු
වනන්තරයක සකුණ මියැසිය
දෙතොල් අතරින් ගලා එන්නේ
ගීතිකාවක ශාන්තියයි

ප්‍රභාමත් වූ වත මඬළ ඇත
තවුස් දැහැනක නිශ්චලත්වය
නයන යුග්මේ රැඳී ඇත්තේ
භාවනාවක කාන්තියයි

ඇත්ත, ප්‍රේමය මනුෂ්‍ය සන්තානය තුළ පහළවන අතිශය උත්තරීතර හැඟීමක්.ප්‍රේමය සඳ එළියක් වැන්න. එය සෞම්‍ය යය්, පිවිතුරු යය්, සුරම්‍ය යය්. ප්‍රේමයේ අරුමය ඔබ තුලින් දකින විට ඒ උත්තරීතර සුරම්‍ය හැඟිම් තුල මා ගිලීයන්නේ මතද නොදැනීමය.

ප්‍රේමය නැමති භාවනාවේ සමවැදී හුන් අපේ ඇස් තුල කාන්තිය විනා අපේ ලෝකය එළිය කල තවත් ප්‍රභාවක් කොයිබ ඇත්ද. ජිවිතය නැමති අසපුවේ ප්‍රේමය නැමති භාවනාවට සමවැදි ඇති අපේ තවුස් සිත්, කෙසේ අතහැර අපි යම්ද.? කාලයද මොහොතකට නතරවූවා නොවේද.?

මොහතකට හෝ මුමුණ වදන් පෙල තුල ගැබ්ව ඇති ශාන්තිය පිරිත් ස්වරය හා සමවන අයුරු කෙතරම් සුවණීයද? දසත නිදහසේ සරනා සියොතුන්ගේ නිදහස් මියැසියට ඉහලින් ගලා එන ඔබේ මුදුමොලොක් ප්‍රේමණිය හඬේ උත්කර්ශය කියාපාන සුන්දර්වය කෙතරම් අපූර්වද ?

දවසක් දා හැන්දෑවක, ගල්කිස්සේ වෙරළේ පනවන ලද බංකුවට වී බැස යන මළ හිරු ගේ අවසන් සක්මන දකින සද, ඔබ මගේ නෙත් දෙකට එබී මිමිණුවේ,

ආලය වන් මනරම් කවිකම් දෙන
සිතුමිණ කොද විස්කම්
හදවත් වී සමහම් නිගැයුම් කර
සිඳ බිඳලයි බව ගිම්

පැණසර මහා බෝසතුන් විරතට පැමිණ නොමින්
පබවත වෙත බැඳෙමින් පුදදුන් උණු කඳුලින්
ආලය නම් මනුදම් අදහම් නිති එතැනය සබය සුදම්

සහලඟුරෙන් දැවෙමින් පවසට පැන් වෙනුයෙන්
උරය පලා සතොසින් පුද දුන් සිය රුහිරෙන්
ආලය නම් මනුදම් සුරකිම් නිති එතැනය සුරලොව නම්

සැබෑව, ආලය ගැන මගේ පන්හිදෙන් ජාතක වන කවියේ මූලය ඔබේ ප්‍රේමයයි. ඔබේ තැම්පත් සමාගමයි, උණුසුමයි. ප්‍රේමයේ සිළුමිණ දකිනුවස් මා සොයන්නේ ඔබවයි. ඔබේ සිනහවයි. මගේ පෙම් කවියේ උල්පත ඔබමැයි. ඔබගේත්, මගේත් හදවත් හී ස්වරයෙන් ධ්වනිත වන කම්පනය මාගේ පෙම්කවේ ජීවයයි. ආනුභාවයයි. ජිවිතය නැමති නර්ථනයේ ගිමන් හරින් ඉසඹුව ඔබයි, ඔබගේ ප්‍රේමයයි.

ජිවිතයේ අතරමං වෙච්ච, මංමුලා වෙච්ච හැම මොහොතෙම අප දෙදෙනාට අප දෙදෙනා තවතවත් කිටි කිටියට බැදදමනු ලැබුයේ අපේ මේ මනරම් ආලයයි. මඩගොහොරුවක් වන් අවට ලෝකයේ දුර්ගන්ධය පරයා පිපුණ සුන්දර අරවින්දයක් වේ නම් ඒ අපේ ප්‍රේමය, ඒ අපේ ආලය. මනුලෝ තලේ තුසිතය අපේ ආලය.

සංසාර සාගරේ යාත්‍රා කරන අප, කොතෙක් විටක් නම් තැවෙන්නට ඇත්ද? ගිලෙන්නට ඇත්ද? ඒ හැමවිට අපේ ආලය අප අතැර නොයන්නට ඇති නොවේද ? ජීවිතය නැමති යාත්‍රාවේ රුවල් වූයේ අපේ ආලය නොවේද ? වැහි කුණාටු දළරළට එරෙහිව අපව වටකල මහමෙර අපේ ආලය නොවේද?

දවසක් දා හැන්දාවක, ඔබ මට තුරුළු වූ මොහොතක, මට මිමිණුනේ,

ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
හද දියඹ ගලා යයි රැළි ලමින් සැලි සැලී
මෙ වන් සුව පෙර නොවිඳි තුන් සිත ම සලිත වේ
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ

නා ගසක් දළු දමා වසන්තය එළඹිලා
මඳ පවන් රැල් වැදී සැලෙන විට කැලඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ

යුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන් ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ

අහස තල පොළෝ තල ඔබ ට මට පොදු වෙලා
හදවතින් එක් වුණත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොළඟ ම තැවෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ

බොහෝ කලකත ඉහත අනෝරා වැහි වැටුන සමයක, හීතලෙන් ගල් හැහි, හාමතින් නිදි වැදි අතරක් නොමැති මහදට ප්‍රේමයේ මී බිදු ගෙනාවේ ඔබයි. අද මාගේ උණුහුමට ගුලිවි මාසමග හිනාවෙන, මා සමග ගී කියන, මා සමග දිවිගෙවන නුඹ කොතරම් සුන්දරද? මීට පෙර කිසිදිනෙක නොවිදි සුවයක් ඔබන් මා ලබමි. විටෙක මා හද සලිත කරවන ඔනේ ආලිංගන මගේ සිත කිතිකවන්නේ, බිගුන්ගේ සියුම් පා වැදි විලියෙන් ඇඹරෙන මල් රේණු පරිද්දෙන්. මේ අපරිමිත ආලවන්ත සුවය ගෙනා නුඹ සසර සැරිසරනතාක් මගේම වීම කෙතරම් භාග්‍යක් වන්නේද.!

වසන්තයයේ දවසක මොර මල් පිපුණු සමයක, ඔබ හා මම නිස්කලංකව ඇවිද ගිය මං පෙත ඔබට මතකද? නාමල් පිපි, මොරමල් එක්ක නැළවී, හුලඟත් එක්ක හැමුවේ අපේ ප්‍රේමයේ සුවඳ නොවේද ? ඔබේ මුව සිඹින විට යලිත් යලිත් දැනෙනේ ඒ සොදුරු සිහිලැල් සුවගන්ධය නොවේද? මෙවන් සුව පෙර නොලැබි මාහට, ඒ සුවයය මට ගෙනා නුඹ සසර සරන තුරු මගේමයි.!

නුඹ මගේ ජීවිතයේ කොටස්කාරිය යි. යසස , අයස, කිත් පැසසුම්, දුක් දොම්නස් මා සමගින් එක් ව බෙදා ගන්නා අපි, දිවි තුරා බැඳී සිටිමු.

තිෂරා, සසර සැරිසරන තෙක් නුඹ මගේ, නුඹ මගේ..

 

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කථාන්දර, සිත්ගත් චිත්‍රපට, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න