අපේ මියුරු පෙම් කතා

ආදරණිය තිෂාරා,

මේ ලිපිය ලියන මොහොතේ ඔයා හොදටම නිදි. ඒත් මමත් මගේ හිතත් තාමත් ඇහැරලා කාබන් පෑනයි කොපි කොලයයි අතරේ හිරවෙලා. එක එක දේවල් ගැන මට හිතෙන දේවල් අනලස්ව ලියන මට, ඔයා ගැන ලියන්ඩ පටන් ගන්නවා කියන්නේ මහා අභියෝගයක්. ටික වෙලාවක් පෑනෙන් කොලෙට තට්ටු කර කර හිටපු මම ඉබේටම වගේ කාමරයෙන් එළියේ තියෙන බක්මීගහ දිහැ බැලුවා. මේ බක් මී මල් අවාරේ උණත් මට එකපාරටම හිනාවක් එක්ක ඉමාන්ගේ මේ සින්දුව මතක් වුනා. මම සිංදුව මුමුණ මුමුණා ජනේල් පියන ටිකක් අඩවල් කරලා බක්මි ගහ දිහෑ බලාගෙන හිටියා.

සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා
කුරුලු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා

දවසක් මේ ගහෙන් මම අහුලලා දීපු බක්මී මල තවමත් ඔයා තියාගෙන ඉන්නවා. බක්මී මල පිපුනාහම හරිම ලස්සනයි. සුවඳයි. “හරියට ඔයා වගේ” මම එහෙම කියන කොට ඔයා හිනා වෙලා ඒ මල අරන් තියා ගත්තා. ඒ මීට ගොඩක් කාලේකට කලින්. මම ආපහු කාබන් පෑන අතට ගත්තා.

මිනිස්සුන්ගේ ජිවිතවල පැවැත්මට ආදරය ඇත්තටම ඕනෙද..? එහෙමත් නැත්නම් ආදරයේ පැවැත්මට මිනිස්සු ඔනේද..? ඉස්සර මම ඔයත් එක්ක මේක ගැන බර සාරෙට කතා කරා. ඔයා අහගෙන හිටියා. මම තර්ක කරා. ඔයා බලාගෙන හිටියා. මම දිනුවා, ඔයා පැරදුණා, මම එහෙම හිතුවා. හැබැයි හිත් වලින් ඔයා, මම, අපි එකිනෙකාට ආදරය කරා.

ආලය වන් මනරම් කවිකම් දෙන
සිතුමිණ කොඳ විස්කම්
හදවත් වී සමහම් නිගැයුම් කර
සිඳ බිඳලයි බව ගිම්

අපේ මේ ‘ආදරය’ කියන හඳ එළිය ජිවිතයට වැටුණහම අනාදරයේ අපල අඳුරෙන් එය වසා දමන්නට මම කැමති වුණේ නෑ. ඉබාගාතේ ආකූලව ගලපු මගේ ජීවිතේට තොටමුණක් හදන්ට මම වෙහෙසුණා. මිනිහෙක්ගේ ජීවිතේ සිද්ධ වෙන්ඩ පුළුවන් ඉහළම දේ ‘ආදරය’ කියලා මම හිතන්ඩ ගත්තා. ආදරේ හදවතේ පතුලටම කිදා බහිනවා විතරක් නෙවෙයි, ඥානයත් ගෙනැත් දෙන්ඩ පුළුවන් කියලා මම හිතුවා. ආදරය නැමති හඳේ එළිය ඔයාගෙන් උරා ගත්තු මම ආපස්සට ඒ ආදර හඳ එළිය විහිදුවන්ඩ ගත්තා. ගෙදර ආපුවහම අම්මා අප්පච්චි ඉස්සරහා මල්ලි කියන ‘අයියගේ මූණේ පෙම් පාට’ මේ මගේ ආදර හඳ එළියේ පාට වෙන්ටැ කියලා මම හිතුවා.
ආදරය හා ප්‍රේමය කියන සංකල්ප දෙක ගැන මම ඉස්සර කතා කරපු හැටි මේ ලිපිය කියවගෙන යනකොට ඔයාට මතක් වෙනවා ඇති. ප්‍රේමය හා ආදරය කියන්නේ දෙකක්ද එකක්ද කියලා තේරුම් ගන්ඩ බැරි අය මේ සමාජේ කොච්චර ඉන්නවා ඇත්ද. භගවාන් රාජ් නිෂ් හෙවත් ඕෂෝ ආදරේ ගැන මෙහෙම කියනවා.

“තමන් ආදරේ යැයි කියන්නේ මොකක්ද කියා දන්නවා යැයි සිතන එක මිනිසාගේ මූලිකම මුළාවන් ගෙන් එකක්”.

පාරේ තොටේ බස් එකේ කඩ පිලේ කොච්චර නම් ආදරවන්තයන් ඉන්නවද..? ඒ හැමෝම ගාව ආදරය තියෙනවද? ආදරවන්තයන්ටම වෙන්වෙච්ච දින, උද්ද්යාන, මං මාවත් තියෙනවා. ඒවා ඇතුළේ තියෙන්නේ ආදරයද..? ඕෂෝ ආදරය මුලාවක් කියන කොට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්රයන් , ප්‍රේමය ගැන මේ විදිහට කියනවා.

“ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
රිසි වු කෙනෙකුට පූජා කරනට
ලෝභ සිතින් තොර පිදුව මනාවේ
පෙරළා ලබනට නොසිතා බිදකුත්”

ආදරයයි ප්‍රේමයයි කියන්නේ දෙකක්. මම එහෙම හිතනවා. හැබෑ ප්‍රේමය තුළ ආලිංගන නෑ. මම එහෙම හිතනවා. ‘සක්වා ලිහිණියේ’ තැනක සේකරයන් කියනවා

ඉහළ වෙලේ ඉස්මත්තේ
දිය හබරල මල් ගොල්ලේ
නීල වරල ළමැද හෙළාලා
බිමට නැමී ඔය කවුදෝ
පලා නෙළන්නේ
නීල නුවන් දෑළවරින්
වැසි වස්සන්නේ

පහළ වෙලේ පුරං වෙලා
වල් බිහිවී ගිය කුඹුරේ
මම තනියම කාන්සියෙන්
කුඹුර කොටනවා
ඈත ඉන්න උඹේ මූණ
හිතේ ඇදෙනවා

ගමේ හැදිච්චි ඔයාටයි මටයි ගමේ හුරුව තියෙන හින්දා වෙලේ ලියද්දේ ගැමි සෙනේ ගැන ඔයාට මම මොනවට අටුවා කියනවාද. සේකරයන් ගැමි යුවළගේ ප්‍රේමය ගැන කීවා විනා ආදරයක් ගැන නොකිවා යැයි මම හිතනවා. දිය හබරල මල තද දම් පාටට හුරු නිල්පාට. මල් පොකුරට බූසෙට හැදුණාම හරිම හැඩකාරයි. හරියට ඔයාගේ කැරලි වැටිච්ච, කියබුලතා මොනවට ඇති කොණ්ඩේ වගේ. කොහොම වුණත් ඔය මොන විදිහට කිවුවත් ප්‍රේමයෙන් තොර ජීවියක් අප් දෙන්නට නෑ නේද.?

මම සෑම විටම උත්සාහ කළේ හැමදෙයක් ගැනම තාර්කිකව බලන්ඩ. අපේ ජිවිතේ අර්බුද ආපු හැමවෙලේම මම කිවුවේ හදවත වැඩක් නෑ මොලෙයි වැදගත් කියලා. කන්දේ, ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක්මානේ මා දුටු සංකල්ප රූපක නාගරික මධ්‍යම උගත් පන්තියේ සිතුවිලි වලින් අධිස්ථාපනය වුණාදෝ කියලා අද මට හිතෙනවා.

ඉස්සර අපි රසායනාගාර ඇතුළට වෙලා පොත් පත් වලට ගුලි වෙලා ශාස්ත්‍රානූකූල ක්‍රම වලින් හැම දෙයක් දිහැම බලන්ඩ පුරුදු වුණා. ඉස්සර මිනිස්සු දෙවියන් විසින් සිල්ල මැවුවා කියන පුහු නිෂ්ඵල මතය කරේ තියාගෙන ගියා හා සමානවම විද්‍යාත්මක ක්‍රමයකට සියලුම දේ භෞතිකව දකින්ඩ හැදුවා. ඔයා කොහොම වුණත් මම හිතුවේ විද්‍යාව තරම් යථාර්ථයක් තව නෑ කියලා. සියලු දේට සාර්වර්ත්‍ර පැහැදිලි කිරිමක් ලෙසට විද්‍යාව පිළිගත්තා. හැබැයි ඇත්තම කතාව විද්‍යාවට අහු වෙන්නේ නැති මොකක්දෝ දෙයක් අපි අතරේ තියෙනවා කියලා මට තේරුණා. විද්‍යාවට අහුනොවෙන යථාර්ථය මනුෂ්‍ය බැදීම් ඇතුළේ තියෙනවා කියලා මට තෙරුණා. මම හිතන විදිහට අපි දෙන්නා අතරේත් ඇති වුණේ එහෙම බැදීමක් වෙන්ඩ ඇති. සාංසාරික බැදීම් කියන දේවල් හිත් වලට මිසක් යන්ත්‍රවලට දැනෙන්නේ කොහොමද..? මේ ගීය මගේ පරිගණකයේ ධාවනය වුණත් මෙකේ තෙරුම දැන්නේ මගේ හිතට මිසක් පරිගණකයට නෙවෙයි කියලා මම දැන් දන්නවා.

සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙම්
ඔබ නිසා පදවන්නෙමි….

ලියාගෙන ලියාගෙන යන්ඩ කොච්චර හිතුවත් හිත ඇතුළට ඔයා ගැන ලියන්ඩ එකපාරකට මහ ගොඩාක් අදහස් ඇතුල් වෙනවා. අදහස් ගොඩාක් අස්සේ මම දැන් ආපහු හිර වෙලා. ඒ අතරේ ආපහු මට බක්මී ගහ දිහා ආපහු සැරයක් බැලුණා. ලබන පසළොස්වකට හඳ මෝරාගෙන එනවා. ඒ අඩ හඳට එහැයින් වෙන්ඩ පුංචි තරුවකුත් පායලා. බක්මී කොළ අස්සෙන් හඳයි තරුවයි දිලිහෙනවා. ඒ අස්සේ එහා ගෙදර පුංචි එකාව හුරතල් කරන්ඩ එල්ලා තියෙන සුළං සීනු හුළඟට හෙලවෙනවා. මේ ඔක්කොම හරියට අපේ පෙම් කථා හොරෙන් අහගෙන ඉන්නවා කියලා මට හිතෙනවා,

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා..
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා.. සිටිනවා…

කදුළු බිදු ගලා සඳේ තුරු ලතා පුරා
සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදීම්
මහත් වියරුවෙන්..

කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා
ඔබේ සිසිලසින්…

අමරදේව මාස්ටර් මේ සිංදුව අපි දෙන්නටම කිවුවදෝ කියලා මට එක පාරටම හිතුණා. මූණට පිරිච්ච හිනාවත් එක්ක මම අයෙත් ලියන්ඩ පටන් ගත්තා.

ප්‍රේමය උත්තරිතර වෙන්නේ කොහොමද කියලා ඇහුවොත් මම තාමත් ගොළුයි. මට ඒකට දෙන්ඩ එක එල්ලේ උත්තරයක් නෑ. හැබැයි ප්‍රේමයේ චමත්කාරයත්, එහි ආනන්දයත්, රමණිය බවත් මට දැනෙනවා. එපමණකින්ම එහි වටිනාකම, තක්සේරුව අමිලයි අපමණයි. අහස් ගැබේ කොච්චරද තරු, පොළෝතලේ කොච්චර වැලි එපමණකින්ම මම ආදරෙයි. ඉස්සර චරිතාගේ ඔය ගීය ඇහෙනකොට මම දුටුවේ බොළඳ ආශාවක් පොදි කරගත් තරුණියකගේ විලාපයක්. ඒත් එහි තියෙන සංවේදි භාවාත්මක හැඟිම මට තේරුම් ගන්ඩ උවමනවක් තිබ්බේ නෑ. තිබ්බත් මම ආයාසයෙන් ඒක මැඩ ගත්තා. ඒ මගේ විනයක් නැති අසංවේදි චිත්තවේග හින්දා කියලා මට හිතෙනවා.හැබැයි අද මම නන්දගේ මේ සිංදුව ඇහෙනකොට එළියේ තියෙන කිසි දෙයක් පෙන්නේ නැති වෙන්ඩ ඇස්දෙක පියා ගන්නවා. කළුවර අස්සේ මම ඔයාව දකිනවා.

කළා වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මටමැ වටී
බෝධියකින් වට බෝ කොළයක් සේ
අගී අගී ඔබ මටමැ අගී

ඉපදිච්ච දවසේ ඉදලා අද වෙන කන් අපි දෙන්නට මිනිස්සු කීදෙනෙක් නම් කියලා හම්බ වෙලා ඇත්ද. ඒ අය අතරින් කී දෙනෙක් එක්ක අපි සම්බන්ධකන් හදාගෙන ඇත්ද. ඒ අද අපේ දෙමව්පියොයි අඹ යලුවෝ ටිකයි ඇරුණාම අනෙක් සියලු දෙනාම හරියට හුළඟවගේ. සම්බන්ධකණ් ගොඩ නැගෙන්නේ කොහොමද කියන්ඩ හරියටම දන්නේ නැති උණත් සම්බන්ධකම් වල වටිනාකම මට ආපහු ආපහු මතක් කළේ ඔයනේ.

ආපහු වැහිකාලේ පටන් ගෙන. එළියේ සර සර ගාල ලාවට හිරි පොදක් යනවා.දැන් එන්නේ ශීතකාලේ හින්දා ඔයත් එක්ක නුවර පැත්තේ යන්ඩ හිතාගෙන හිටපු එක ලබන් අවුරුද්දට කල් දානවා කියලා හිතුවා. වැහිකාලේ ඇවිදින්ඩ යනවට අම්මත් කැමති නැති එකේ වෙන දිහැවක යන්ඩ හිතා ගත්තා. බක්මි කොළ අස්සෙන් දැන් හඳ පෙන්නේ නැතුව ගිහින්. බාගදා වලාකුළු හින්දා වැහිලා වෙන්ටැ. වෙලාවක් රෑ දොළහ පහුවෙලා. හෙට උදේ මම අරන්දීපු නිලුයි සුදුයි ඇදුම් ඇදගෙන අම්මා හදපු කිරි බේරෙන් රතු කැකුළු කිරිබත් කැටේ ඔයාගේ අතින් කන්ඩ  ඔනෑ හින්දා මම දැන් නිදා ගන්නවා.

ඔයාට සුබම සුබ උපන්දිනයක්.

නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිතමිතුරු වූ වසත් කාලයයි

2013 – සැප්තැම්බර් – 11 දා

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කථාන්දර, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

අපේ මියුරු පෙම් කතා සදහා ප්‍රතිචාර 2ක් දක්වා ඇත

  1. anil_lasantha පවසයි:

    😀 අපූරු නිර්වචනයක් ලැබුනා. මම නම් කියන්නේ ආදරයයි ප්‍රේමයයි කියන්නේ දෙකක්. අනෙක මිනිස්සුන්ගේ ජිවිතවල පැවැත්මට ආදරය ඇත්තටම ඕනෙමයි.

    කැමතියි

  2. durakatana පවසයි:

    හරිම ආදරණීයයි සහෝ… තිෂාරා සහෝදරියට සුඵ උපන්දිනයක් කියන්න…

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )