විවාහය, “වෙඩින්” හා නාගරික පන්නය

4659138204_7f1c7a2de7_m

විවාහයක් යනු ගැහැනු පිරිමි දෙපාර්ශවයටම ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි. බටහිර නව්‍යකරණවාදයට හා ජනප්‍රිය සංස්කෘතියට විවාහය යනු “සැනෙකෙලියකි”.

මෙම සැනෙකෙලියක් වු විවාහයෙන් සතුටුවන්නේ, කැමරාකාරයන්, හෝටල්කාරයන්, හැඩ වැඩ කරන රූපලාවන්‍ය කාරයන් වැනි විවාහ වැනි උත්සව නිසාම ඇති වු කලුකඩ කාරයන් වේ.

අද වන විට සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක් සදහා නුවර හෝ කොළඹ ආශ්‍රිතව හෝටලයක අවම පහසුම් යටතේ පූර්ණ විවාහයක් ගැනීමට මිලියනයක් පමණ වැයවේ. මෙය මහා තකතීරු වැඩකි.නිස්කාරනයේ මුදල් කාබාසිනියා කිරීමකි.

ලංකීය සංස්කෘතියේ විවාහය යනු “මංගල” කරුණකි. විශේෂයෙන් උඩරට පැති වල විවාහ චාරිත්‍ර ඉතා අලංකාරය. මාද උඩරට ඉසවුවේ නිසා, එම චරිතර ධර්ම හොදින් පත්තියම් පහු කොර ගෙන ඇත.

මගුල්දා හරි උත්සව ඇත. දෙපාර්ශවයේම හතර වරිගෙම ඇත්තෝ එදාට මගුල් කෑමට එති. දැනමුතු වැඩිහිටි ඇත්තන් සහිත මහා සභාවක් මැද දෙන්නා විවාහ වෙති. අෂ්ටක, සෙත් ගායනා මෙන්ම, උපහැරණද එහිදි ඔව්නට ලැබේ.

එය මහා සංස්කෘතික උත්සවයක්….!!!

පොරුවේ සිට දායාද දක්වා සියලු දේ කරනුයේ හතරවරිගේ උන්දැලාගේ මහන්සියෙන්ය. මීට වසර ගානකට පෙර මා පුංචි අම්මාගේ මඟුල දැකීමෙන් පසු සාම්ප්‍රදායික “මගුලක්” දැක්කේද නැත. ඥාතිවරු කීප පොලක් “වෙඩින්” ගත් අතර එය හුදු මාන්නය පෙන්වීමට කරන ලද විකාර මගුලක්ය.

අද ඇත්තේ මගුල් නොව “වෙඩින්ය”.

එවා ප්ලෑන් කිරීමට ආයතනද ඇත.මෙවැනි තුප්පැහි අසික්කිත සංස්කෘතියක් ආවේ කොයිද..?

පැහැදිලිවම බටහිරින්. මගුල් දිනය වෙඩින් දිනයක් කර ඇත්තේ ඔවුන්ය. මේ සමගම සමහරක්ගේ ජීවන උපාය ලෙස මෙම වෙඩින් පත්වී ඇත. සමහරක් සැදි පැහැදී ඉන්නේ වෙඩිමේ රූප ගන්නා කැමරාකාරයා වීමටය. ඇතැමුන් එය අද “මංගල උත්සව ඡායාරූප කරන කලාව” ලෙසද හදුන්වයි. අනෙක් උන් නම් අදුම් ආයිතම්, රූප සොබාව ගැන හොයන උන්ය. තව කෑම හදන උන්, ආරාධනාපත් හද උන් එමට. මේ හැම එකක්ම කිරීමට ඒජන්සිද ඇත.

මා නිතරම කියන දෙයක් නම් අප නිශ්පාදන ආර්ථිකයෙන් බැහැරව පරිබෝජන ආර්ථිකයකට ගොස් ඇති බවය.අපගේ සෑම් ක්‍රියාවකම ඇත්තේ එම පරිබෝජනවාදි සංකල්පම පමණි.

පුංවිඅම්මාගේ මගුල් පෝරුව හැදුවේ අපිය. රෑ නිදිමාරගෙන පොල්කොල, තල් කොල, කිතුල් රෑන් ආදි නා නා ස්වභාවික දේ යොදා ශ්‍රමය හා හැකියාව පමණක් යොදා මනරම් පෝරුව සැදීම අදටත් මතකය. එදා රෑ අපි කල කී දෑ තවමත් අපිට මතකය. නමුත් අද පරපුරට එවැනි සංස්කෘතියක් නැත. දැන් පෝරුද “සේල්” දමා ඇත. සංස්කෘතිය ගැන හාංකවිසියක් දන්නේ නැති අලුගුත්තේරු තරුණ පරපුරක් අද බිහිවී ඇත.

එදා මානාලිය කැන්දා ගෙන නිවාසයට ආවාට අද ඇත්තේ “හෝම් කමිං” ය. පෝරුවට නැගීමට ප්‍රථම වෙඩින් රූපය මල්වඩමක් සේ පෝරුව ලඟ තබා තිබෙනු මා දැක ඇත. මගුල් දා පලමු වරට යමෙකු මනාලිය දුටුවා නම්, වෙඩිමෙන් පසු ඔහුට හෝ ඇයට කිසිම අයුරකින් මානාලිය හදුනා ගැනීමට හැකි නොවේ. මූණේ ඒ තරමට හුණු උලා මනාලිය එම්බාම් කර ඇත. පිපාසයට අද දෙන්නේ සිනි වලින් සංතෘප්ත වු “ජූස්” එකක්ය. දවල් බත් එකේ “ඩෙවල්” කරන ලද කොස් ඇත. කිරි කොස් නැත. උදෑසන මුල් ඇදුවෙන් සිටි මනාලයා හවස තවත් මොකක්දෝ කුරුතාවක් පටලාගෙන ඇත. අවසානයේ යහලුවන්ගෙන් අම්බානක ගුටි කා කපල් එක හනිමූන් යති.

මෙවා සුන්දරයි යැයි කියන්නේ වෙඩින් දැක ඇති අය මිසක “මගුලක්” ඇහැටවත් දැක නැති උදවියයි.

ඉතිහාසය, සංකෘතිය, ජාතිය හා රට පිලිබද අපි මීටවඩා හැදෑරිය යුතු කාලය පැමිණ ඇත. “හාලාල්” වර්ජනය මෙන්ම “සිංහල” බෞද්ධ සංස්කෘතිය රැක ගැනීම සියලූම නූතන සිංහල බෞද්ධ තරුණ තරුණියන්ගේ වගකීම මෙන්ම යුතුකමක්ද වෙයි.

මෙය වටහා මෙයින් අතික්‍රමනය කරන තෙක් අපට ආසියාවේ තබා මට්ටක්කුලියේවත් ආශ්චර්යයක් ද දැකිය හැකි නොවේ.

-උමන්දා ජයෝබණ්ඩාර

Advertisements
Posted in කයිවාරු | Tagged , , , | ප්‍රතිචාර 2

Android ක්‍රමලේඛණය ආරම්භක පාඩම (ඇන්ඩ්‍රොයිඩ් ස්ථාපනය )

පෙර ඇන්ඩ්‍රොයිඩ් ක්‍රමලේඛණය සම්බන්ද ලිපියෙන් මා ඇන්ඩ්‍රොයිඩ් යනු කුමක්ද, එහි භාවිතාව කුමක් සදහා ද ආදී කොට ගත් සරළ හැදින්වීමක් කරනු ලැබුවා. මෙම ලිපිය තුලින් මා බලාපොරොත්තු වන්නේ ඇන්ඩ්‍රොයිඩ් ක්‍රමලේඛනය සදහා අවශ්‍ය මෘදුකාංග හා අනෙකුත් සැකසීම් කර ගනිමින් ඔබගේ පරිඝණකය ඇන්ඩ්‍රොයිඩ් ක්‍රමලේඛනයට සහය දක්වන අයුරුන් සකසා ගන්නා ආකාරය සාකච්ඡා කිරීමයි.

මාගේ පරිඝණකය වින්ඩොව්ස් 8 නැමති මෙහෙයුම් පද්ධතිය මත ධාවනය වන බැවින් මගේ පැහැදිලි කිරීම් වින්ඩෝව්ස් මෙහෙයුම් පද්ධතිය සදහා වෙයි. ඔබගේ වින්ඩෝව්ස් මෙහෙයුම් පද්ධතිය Windows xp හෝ ඉහල මාදිලියක් හෝ විය යුතුයි (, windows 7 , windows 8)

ලිනක්ස් (Ubuntu, Fedora, CentOS, Mandriva)පාරිසරිකයේ හෝ, අයිඕස් පාරිසරිකයන් භාවිතා කරන අය වෙත් නම් ඔවුනට මා පසුව සැකෙවින් විමසා සිටියොත් පමණක් ස්ථාපනය පිලිබද පැහැදිලි කිරීම් කිරීමට බලාපොරොත්තු වෙනවා.

අප දැන් පියවරින් පියවර ඇන්ඩ්‍රොයිඩ් පාරිසරිකය සකසා ගන්නා අන්දම සාකච්චා කරමු.

ඇන්ඩ්‍රොයිඩ් පාරිසරිකය පහත දේවල් වලින් සමන්විත වෙනවා. අප කරනුයේ එම දේවල් නිවැරදිව එකිනෙක හා ගලපා ගනිමින් ස්ථාපනය කිරීමයි.

ජාවා සංවර්ධක කට්ටලය  JDK (JAVA  Development KIT)
http://www.oracle.com/technetwork/java/javase/downloads/index.html

eclips (කේත් ලිවීමේ මෙවලම )
http://www.eclipse.org/downloads/

ඇන්ඩ්‍රොයිඩ් සංවර්ධක කට්ටලය ADT (Android Development KIT)
http://developer.android.com/tools/sdk/eclipse-adt.html

කලින් ලිපියේ මා සාකච්චා කල අයුරුන් මාගේ ඇන්ඩ්‍රොයිඩ් ක්‍රමලේඛන පාඩම් මාලාව සදහා මා යොදා ගනු ලබන්නේ ජාවා ක්‍රමලේඛණ භාෂාවයි. එම නිසා පලමුව ඔබ ඔබගේ පරිඝනකයේ නිවැරදිව ජාවා පාරිසරිකය සකසා ගතයුතුයි. මා මීට ඉහත ජාවා ක්‍රමලේඛණය පිලිබද ලිපි පෙලේදී ජාවා නිවැරදිව වින්ඩෝස් පාරිසරිකයේ සකසා ගන්නා අන්දම පැහැදිලි කරනු ලැබුවා.

පහත මම දක්වම මෙම ලින්ක් එකට ගොස් එම ලිපිය බලා ඔබට ජාවා ස්ථාපනය කර ගන්නා අයුරු ඉගෙන ගත හැක. මා වින්ඩෝස් එක්ස් පී සදහා ඉදිරිපත් කරන ලද ලිපියක් උනත්, අනෙකුත් වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති සදහාද එම ක්‍රමයම අනුගමනය කල හැකි වෙයි.

JAVA භාෂාව ආරම්භක පාඩම- java ස්ථාපනය (01 – 2)

දැනට භාවිතා වන්නේ ජාවා 1.7 සංස්කරනය වන අතර මා දක්වා ඇත්තේ ජාවා 1.6 සංස්කරණය ස්ථාපනය කරන ආකාරයයි. නමුත් එහිද කිසිදු වෙනසක් ඇත්තේ නැ. ඔබගේ පරිඝනකයේ දැනටමත් ජාවා පාරිසරිකය ඔබ සාදා තිබේ නම් ඔබට ඉහත ක්‍රියාව අත් හල හැකිවෙයි.

නිවැරදිව ජාවා පාරිසරිකය සැකසීමෙන් පසු ඔබ කලයුත්තේ ඇන්ඩ්‍රොයිඩ් පාරිසරිකය හා ක්‍රමලේඛණ මෙවලම් සකසා ගැනීමයි.

මෙහිදි අප කියන eclips එක IDE (Integrated Development Environment ) යොදා ගැනීම කර ගනු ලබනවා. එය විවෘත කේත (Open Source) වන අතර නොමිලේ ලබා ගත හැකි කකි.

පසුව ADT නමින් ඉහත හැදින්වු ඇන්ඩ්‍රොයිඩ සංවර්ධක කට්ටලය සැකසීම කලයුතුයි.

නමුත් යම් අයෙකුට වෙන වෙන ආකාරයෙන් ස්ථාපනය කිරීමට අවශ්‍ය නම් කල යුතුවන්නේ පලමුව eclips ද දෙවනුව ADT කට්ටලයද බාගත කර ගෙන (ඉහත ලබා දුන් ලින්ක් භාවිතා කරන්න )  eclips සදහා ප්ලගිනයක් (plugin) ස්ථාපනය කරන ආකාරයට ADT කට්ටලය eclips වලට ඈදීමයි.

1 Open eclips
2 Help > Install New Software
3 Work with => Add
4 Name (i.e. ADT)
5 Archive (Click)
6 බාගත කර ගත් ADT ගොනුවේ මාර්ගය ලබා දී OK ලෙස ලබා දෙන්න. පසුව එය ස්ථාප්නය වන අතර සියල්ල අවසානයේ eclips ප්‍රතිපණ ගන්වන්න.

පහත රූපය තුලින් ඔබට මෙය තවත් පැහැදිලි වනු ඇත.

1

මෙම ක්‍රමය ටිකක් කරදර කාරි බැවින් ආධුනිකයන්ට පහත ක්‍රමය ඉතා පහසු යැයි මා සිතමි.

පලමුව පහත ලින්ක් එකට ගොස්  download the Android SDK කියන ස්ථානයෙන් Android SDK කට්ටලය බාගත කර ගතයුතුයි.

http://developer.android.com/tools/index.html

2

පසුව ලැබෙන ගොනුව විහිදුවා ගන්න. (UnZIP).එහිදි ඔබට පහ ආකාරයට ගොනු හා ඩිරෙක්ටරි ලැබෙනු ඇත.

3

පසුව eclips යන ඩිරෙක්ටරිය තුලට ගොස් එහි ඇති eclips.exe ගොනුව මත දෙවරක් ක්ලික් කොට eclips ධාවනය කරන්න.

ලැබෙන වින්ඩොව සදහා OK විධානය ලබා දෙන්න.

සියල්ල නිවැරදිව සිදුවුනි නම් ඔබ ඇණ්ඩ්‍රෝයිඩ් පාරිසරිකය සකසා අවසන්. ඔබට පහත වින්ඩොව්ව ලැබිය යුතුයි. මීලඟ පාඩමින් අප කේතනය අරඹමු.

4

Posted in Android ක්‍රමලේඛණය | Tagged , , , , | ප්‍රතිචාර 4

Android ක්‍රමලේඛණය ආරම්භක පාඩම (හැදින්වීම)

දිනෙන් දින මොහොතින් මොහොත තාක්ශය දියුණු වෙමින් පවති. ඊයේ පැවති තාක්ශය වඩාත් උසස් අයුරින් අද දිනයේ අපවෙත ලැබෙයි. අප අද තාක්ශණයේ මහා විප්ලවයක කොටස් කරුවෝ වී එහි හොද නරක විවිධ අනුපාතයන්ගෙන් භුක්තිවිදමින් සිටින්නෝ වෙමු.

ශ්‍රි ලංකාවේ තොරතුරු තාක්ශණයේ විප්ලවීය අවධිය පසුගිය දෙදහ දශකය යැයි කීවාට මා වැරදි නොවනු ඇත. අන්තර්ජාල තාක්ශණයන් හා සන්නිවේදන තාක්ශණයන් මෙකල දී බොහෝ කතා බහට ලක්වු හා සමාජ ගත වු කාරනා, සංකල්ප වූහ. ඉතා සීඝ්‍රයෙන් තොරතුරුතාක්ශය හා එහි උපයෝගීතාවයන් සමාජ ගත වු අතර ආර්ථිකමය ලෙස තොරතුරු තාක්ශණය හා ඒ හා අදාල සම්පත් හා සම්පත් පුද්ගලයන්ට වඩා වැඩි අවස්ථාවන් හා වටිනාකම් ලැබෙන්නට විය. අද වන විට එය ඉතා විශාල මට්ටමෙන් ප්‍රචලිත වී ඇත.

mobile_device_image3

මේ අතර කරලියට ආ අලුත්ම මාතෘකාව වූයේ “ජංගම උපාංග” නැති නම් [Mobile Devices ] යන්නයි. මෙතෙක් කල් මේසයත් පුටුවත් තබා ගනිමින් ලෝකය සමග සම්බන්ද වු මිනිසා, එයින් මිදි අත්ල මත සිටිමින් ලෝකය හා සහසම්බන්ද වීම පටන් ගන්නා ලදි. මේ අනුව “ජංගම උපාංග” වෙනදාට වඩා අද බොහෝ දෙනා අතර ජනප්‍රිය වෙමින් පවති.

ජංගම උපාංග සැලකූ විට ඒවා විවිධ කාර්යන් සදහා විවිද අයුරින් සාදා ඇත.

ජංගම දුරකථන (iPhone, Nokia, Samsung,HTC,LG,Sony Ericson)
ටැබ්ලට් උපාංග (iPad, Amazon Kindle, Android Tab, )
වොල්ක්මන් ආදි ගීත ධාවක (iPod,)

ආදිය වඩා ජනප්‍රිය කාන්ඩ වෙයි. විවිධ නිශ්පාදකයන් තමන්ගේම වෙළද නාම වලින් ඉහත කාන්ඩ සදහා උපාංග නිපද වීම කරනු ලබයි.ඒ ඒ නිශ්පාදකයා යොදා ගන්නා තාක්ශනය අනුව එම උපාංග වල ගුණ අගුණ මෙන්ම උචිත අනුචිත බවද තීරනය වෙනු ලැබෙයි. ඉහත සදහන් කල පරිදි ඉහතින් දැක්වු උපාංග වර්ග යම් නිශ්චිත අවශ්‍යතාවක් උදෙසා නිපදවා ඇත. ඒ අනුව බහුතරයක් දෙනා එම පහසුකම් නිසි ලෙස යොදා ගනිමින් තමගේ අවශ්‍යතා වඩාත් නිර්වද්‍යය ලෙසත් කාර්යශම ලෙසත් සිදුකර ගනු ලබයි.

නමුත් ඇතැම් අය විලාසිතාවන් සදහා හෝ සමාජය තුල තමන්ගේ තත්වය හෝ ප්‍රතිරූපය ඉස්මතු කර පෙන්වීමට පමණක් මෙම වටිනා උපාංග යොදා ගනු ලැබෙයි. කොටින්ම කියතොත් නූතනයේ ඇතැම් තරුණ දරු දැරියන් විලාසිතාවට මෙම තාක්ශණික උපාංග යොදා ගනු ලැබෙයි.

මෙහිදි ලංකාවේ තරුණ දරු දැරියන්ගේද තත්වය එලෙසම වී ඇත. ඇතැම් විට අනෙක් යුරෝපීය රටවලට වලටත් වඩා ඔවුන්ගේ එම තේරුමක් ඵලයක් රහිතව මෙම තාක්ශනණික උපාංග භාවිතාව වැඩියයි මා සිතමි.

මෙයට හේතුවන කාරනා බොහෝ ඇති අතර එවැනි දෑ සාකච්චා කරනු ලබන දේශපාලණික හෝ සමාජවිද්‍යාත්මක ලිපි පෙලක් නොවන බැවින් ඒ සදහා මා මෙම ලිපි මාලාවේ අවකාශයන් යොදා ගැනීමට පෙලෙබෙන්නේ නැත.

කෙසේ නමුත් අප නූතන තාක්ශණයන් යාවත්කාලීන [Update] වීම සිදු නොවන තරම්. එනම් අපි සතුව ඇත්තේ පරණ වු දූවිලි ගැසුන දැනුමක්. ඉහත කී පරිදි දැනුම අපට නිසි පරිදි නොලැබිම සදහා හේතු බූත කාරනා බොහෝ නම් තිබේ. කෙසේ නමුත් අප සතුව ඇති දැනුම හෝ සිංහල සමාජය තුල කොතරම් ප්‍රචලිත වන්නේද කියන දේ තවත් අතකින් සොයා බැලිය යුතු දෙයක්.

ඒ කෙසේ නමුත් මා, මා සතු දැනුම මෙසේ හෝ බෙදා දීමට තැත් කරනුයේ එම සමාජ ඉල්ලුම මට තදින් දැනෙන නිසා විය යුතුය. ඒ අනුව මගේ මවු බස වෙච්ච “සිංහල” බස මා හැමවිටම ඉගැනිවීම් කටයුතු හා මා සතු දැනුම  බෙදා දීමට යොදා ගනිමින් ඉංග්‍රීසි නැමති විජ්ජාවේන් මුලා වෙලා වෙලා ඉන්න සිංහල දත් , සිංහලට ලැදි ඈවලුන්ට බෙදීමට මා බොහෝ කලක සිට දත කමින් ඇත. ඒ අනුව මා විවිධ තෝරතුරු තාක්ශණික විශයන් අලලා පාඩම්  මාලවන් හා ලිපි ලියා ඇති අතර, මෙම “ඇන්ඩ්‍රෝයිඩ් සදහා ක්‍රමලේණ ලිවීම”  නැමති පාඩම් මාලව එහි තවත් පියවරක් වෙනු ඇත.

පංති කාමරයක් තුලදි හෝ දේශන ශාලාවක් තුලදි සිසුනට ඉගැන්වීම තරමක අභියෝගයක් වෙයි. නමුත් ලමුන් හා උරෙන් උර එම මොහොතේම ගැටෙන නිසා වඩා සාධනීය ඉගැන්වීමක් කල හැකි බව මා දනිමි. නමුත් ලිපි මාර්ගික හෝ නිබන්ධන, පොත් පත් මගින් හෝ එලෙස ඉගැන්වීමේ ක්‍රීයාවක් සිදු කිරීම පහසු නැත. එහිදි ගුරුවරයා හා සිසුන් අතර ඇති සම්බන්ධය බොහෝ දුරස් මෙන්ම අවිනිශ්චිය බැදීමක්. එහිදි සාම්ප්‍රදායික ඉගැන්වීමේ ක්‍රම ශිල්ප වලින් ඉගැන්වීම කල හැකි නොවෙයි. ඒ සදහා ලේඛණය හා බස හැසිරවීම මනා කොට කල යුතුය. මා ඒ සදහා කෙතරම් සුදුස්සෙක්ද කියා මා දන්නේ නැත. නමුත් මා පෙර ලැබු අත්දැකීම් ගුරු කොට ගනිමින් අවැසි සියලු දේ රස බසින්, සරළව ලිවීමට උත්සහ කරමි. පාඩම් මාලාවන් හි ගුණාගුන කියවන්නෝ තීරණය කරනු ඇත.

hurricane-sandy-forces-google-to-cancel-android-event-5728e11778

ඇන්ඩ්‍රොයිඩ් යනු කුමක්ද..?

ඇන්ඩ්‍රොයිඩ් යනු ගූගල් (https://www.google.com/) සමාගම විසින් සංවර්ධනය කරනු ලැබු ජංගම උපාංග සදහා වන මෙහෙයුම් පද්ධතියක් ලෙස සරලව අර්ථ කථයක් ලබා දෙන්ඩ පූලුවන්. අපි අපේ පරිඝණකයේ ක්‍රියාව සදහා වින්ඩෝව්ස්, ලිනක්ස්, මැක්, ආදි නම් වලින් යුත් මෙහෙයුම් පද්ධතීන් යොදා ගන්නා අතර ඇන්ඩ්‍රෝයිඩ් යනු එවැනි, නමුත් “ජංගම උපාංග සදහාම විශේෂිතව” සැදු මෙහෙයුම් පද්ධතියක් වෙනවා. මෙය නොමිලේ ලබා දෙනු ලබන “විවෘත මෘදුකාංගයක්” වෙනවා.

ගූගල් සමාගම විසින් ලබා දෙනු ලබන ඇන්ඩ්‍රොයිඩ “පැකේජය” තුල ජංගම මෙහෙයුම් පද්ධතියත්, එයට අදාල මෘදුකාංග එකතුවකුත් ඇතුලත් වෙනු ලැබෙනවා.

ඇන්ඩ්‍රොයිඩ් යොදා ගැනෙන්නේ කුමන උපාංග තුලද..?

ජංගම දුරකථන
ටැබ්ලට් උපාංග
රූපවාහිණි යන්ත්‍ර

මේ පාඩම් මාලාව කා සදහාද..?

මෘදුකාංග සංවර්ධකයන්ට
ආධුණික “ජංගම උපාංග සංවර්ධකයන්ට”
පාසැල් මෙන්ම විශ්ව විද්‍යාවල සිසුන්ට
තොරතුරු තාක්ශනය උගන්වන පාසැල් හා පුද්ගලික ආයතන වල ගුරුවරුන්ට
ජංගම උපාංග සදහා මෘදුකාංග ලිවීමට කැමති ඇත්තන්ට

මෙම පාඩම් මාලාව බොහෝ ලෙස මුල් වෙනවා.

මේ පාඩම් මාලාව සාර්ථකව තේරුම් ගැනීමට කියවන්නා සතුව කුමක් තිබිය යුතුද..?

පළමුවෙන්ම කිව යුතුයි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සදහා මෘදුකාංග ලිවිම සදහා යොදා ගනු ලබන්නේ ජාවා (JAVA) ක්‍රමලේඛන භාෂාවයි. එබැවින්

මෘකාංග සංවර්ධනය, එහි ක්‍රම ශිල්ප හා විශේෂයෙන් එහි යෙදෙන පාරිභාෂික වචන ගැන ඇති දැනුම,
ජාවා ක්‍රමලේණය ගැන සාමාන්‍ය හෝ දැනුමක්,
සරළ ගණිතමය සංකල්ප ගැන දැනුමක්,
වස්තු මූල සංවර්ධනය (Object Oriented Programming ) ගැන දැනුමක්,
ගැටළු විසදීමේ හැකියාව හා නිර්මානාත්මකව සිතීමේ හැකියාව  යන සාඛ්‍යතා කියවන්නා සතුව ඇති නම් ඔබට මේ පාඩම් මාලාව හරහා සාර්ථක භාවයක් ලබා ගත හැකි වනු ඇතැයි මා විශ්වාස කරනු ලබනවා.

ඇන්ඩ්‍රොයිඩ් සංවර්ධනය සදහා යොදා ගත හැක්කේ ජාවා පමනමද..?

නැත. ඇන්ඩ්‍රොයිඩ සංවර්ධනය සදහා C/C++, C#.Net වගේ පරිඝණක භාෂා යොදා ගන්ඩ පුලුවන්

ඇයි එහෙනම් ජාවා යොදා ගන්නේ..?

මෙයට හේතු කීපය්ක් තියෙනවා. ඒ අතරින් පහත කරුණු විශේෂ වෙනවා

  • ජාවා කියන්නේ අපි කවුරුත් දන්න ඉතා ජනප්‍රිය ,හැසිරවීමට පහසු ක්‍රමලේඛ්න භාෂාවක්.
  • ජාවා ක්ලාස් ගොනු ධාවනය වෙන්නේ ජේ.වී.එම් කියන එහෙම නැති නම් ජාවා වර්චුවල් මැෂීන් කියන ස්තරය උඩනේ. ඒ හින්දා අපිට හැම දුරකථනයකටම නැවත නැවත කම්පයිල් කරන්ඩ ඔනැ වෙන්නේ නෑ.

උදාහරනයකට මම හදනවා සරල ඝණක යන්ත්‍රයක්. මම එක සැරයයි මගේ මූල කේත (සෝර්ස් කෝඩ් ) කම්පයිල් කරන්නේ.ඒ කම්පයිල් කරපු ඒ.පී.කේ (හරියට .exe වගේ ගොනුවක් ) තමා මම මගේ සැම්සුන් මාදිලියට, HTC මාදිලියට, LG මාදිලියට භාවිතා කරන්නේ. ඒක විශාල පහසුවක්. මෙහෙම වෙන්නේ මම මුලින් කිවුවා වගේ ජාවා ධාවනය වන්නේ ජේ.වී.එම් එකක් තුල වීම හා සෑම දුරකථනයකම වාගේ ජේ.වී.එම් එකක් තිබීම නිසා.

  • ඒවගේම තමා ආරක්ශනය. මෘදුකාංග සැදීමේදි එහි ආරක්ශාව පිලිබද අපි ගොඩාක් සැලකිලිමත් වෙනවා. ජාවා කියන්නේ ආරක්ශාව අථින් ඉහල භාෂාවක්
  • ඒ වගේම තමා ජාවා සදහා අතිවිශාල සංවර්ධක යෙදවුම්, සම්පත් පුද්ගලයන්, ඉතා සුලභව තියෙන්වා. අති බහුතරය විවෘත මෘදුකාංග සංකල්පය මත පිහිටලා තමා ඒවා බෙදා හරින්නේ. එය ඉතාම හොද දෙයක්
  • ඒවගේම ජාවා යොදා ගැනීම තුලින් memory leaks, bad pointer usage වගේ නේටිව් කේත මගින් ලබා දෙන කරදර බාධක ඉවත් වෙනවා.

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙන් බල ගැන්වෙන ජංගම දුරකථයක් හෝ ටැබ්ලට් උපාංගයක් ඔබ මේ වනවිටත් භාවිතා කර ඇති බවට මා විශ්වාස කරනවා. එම නිසා ඔබ ඇන්ඩ්‍රොයිඩ් හි බාහිර හැසිරීම හා ක්‍රියා පිලිවෙත ගැන යම් අවබෝයක්ද ඇතැයි සිතනවා. උදාහරන ලෙස ඇමතුම ගැනීම, කෙටි පණිවිඩයක් යැවීම, පද්ධතියේ ඇතැම් සැකසුම් වෙනස් කිරීම (system settings), මෘදුකාංග ස්ථාපනය (Install) හා අස්ථාපනය (Uninstall) ආදිය දැක්විත්ය හැක.නමුත් ඇන්ඩ්‍රොයිඩ් සදහා මෘදුකාංග ලියන ක්‍රමලේඛකයෙකු හට ඊට වඩා ඇන්ඩ්‍රොයිඩ් ගැන, එහි නිර්මාණය ගැන, හා එහි අභ්‍යන්තර ක්‍රියා පිළිවෙල ගැන යම් දැනුමක් තිබිය යුතුයි. අප තාක්ශණිකව Software Architecture (මුඛ්‍ය තාක්ෂණය) නමුන් හදුන්වන්නේ එම දැනුමයි. ඇන්ඩ්‍රොයිඩ් ක්‍රමලේඛනය කිරීමට ඇන්ඩ්‍රොයිඩ් මුඛ්‍ය තාක්ෂණය ගැන යම් තරමක හෝ අවභෝධයක් තිබිය යුතුම වෙනවා.

ඇන්ඩ්‍රොයිඩ් මුඛ්‍ය තාක්ෂණය ( Architecture of Android )


පහත රූප සටහන අධ්‍යනය කරන්න

Android-architecture

ඉහත රූපයේ දක්වා ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ගොඩ නගා ඇති ආකාරයයි. මෙය ඉතා සරල ආකෘතියක් වෙනවා. මා ඉතා සැකෙවින් හා සරළව අවශ්‍යම කරුනු පමනක් පහතින් පැහැදිලි කරන්නම්. ප්‍රධාන වශයෙන් ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය ප්‍රධාන කොටස් 5 කට බෙදා විස්තර කරනු ලබනවා. පහතින් ඒ ස්ථර 5 පිලිබද කෙටි හැදින් වීම දැක්වෙනවා.

Linux Kernel

ඇන්ඩ්‍රොයිඩ් හි පහලතම ස්තරය වන්නේ ලිනක්ස් කර්නලයි. සම්පූර්ණ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියම ගොඩනගා ඇත්තේ මෙම ලිනක්ස් කර්නලය මතයි. ගූගල් සමාගම විසින් ලිනක්ස් හි 2.6 කියන කර්නල සංස්කරනය යොදා ගනිමින් එය උචිතෝන්විත සැකසීමෙන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සාදා තිබෙනවා.
මෙය තුල ඉතා පහල මට්ටම් වලින් දෘඩාංග (hardware) හැසිර වීම, මතකයන් පාලනය (memory management), සකසන පාලනය (process control), ආදිය පාලක අඩංගුවෙනවා

Libraries

මීලඟ ප්‍රධාන ස්තරය මෙය වන අතර එය සතුව ඇන්ඩ්‍රොයිඩ් සදහාම ආවේනික කේත ගොනු (Android’s native libraries) අඩංගු වෙනවා. මෙහි ප්‍රධානතම කාර්ය වනුයේ විවිධ වර්ගයේ දත්ත ආකාර (data types) හැසිරවීමට උපාංගයට (උදා: දුරකථය ) හැකීයාවක් ලබා දීමයි. මෙම කේත ගොනු ප්‍රධාන ලෙසම ලියා ඇත්තේ C++ පරිඝණක භාෂාවෙන්. ඒ වගේම ඒවා දෘඩාංග සදහා විශේෂිත (hardware specified) වෙනවා.

පහතින් මා දක්වනු ලබනේ ඇන්ඩ්‍රොයිඩ් සදහා ආවේණික කේත ගොනු කීපයක්.

Surface Manager

මෙහි ක්‍රියාව තරමක් සංකිර්ණ එකක් වන අතර සරළවම කියතොත් කවුලු පාලක (Window manager) පාලනය කිරීම හා තිරයේ රූපක ගොඩ නැගීම් පාලනය කිරීම සිදු කරනු ලබයි.

Media framework

මෙමගින් විවිධ වර්ගයේ මීඩියා ගොනු (mp3, mp4)ධාවනය සටහන් කිරීම නොහොත් රෙකෝඩින් කිරීම ආදිය සදහා අවශ්‍ය පාලනය, හැකියාව ලබා දෙනවා.

SQLite: SQLite යනු ප්‍රධාන දත්ත ගබඩා කරන ආකාරය වෙයි.

WebKit: HTML ආකාරයේ ගොනු සැකසීම සදහා වෙබ් බවුසරයක ක්‍රියාව සදහා සහය දක්වනවා

OpenGL: මෙය ද්වි මාන (2D) හෝ ත්‍රිමාන (3D) චිත්‍රක (graphics) නිර්මාණයට උපකාරි වෙනවා.

Android Run-time

මෙයට  Dalvik VM (Virtual Machine) හා ජාවා ගොනු (Java Libraries )අඩංගු වෙනවා.

Dalvik Virtual Machine

මෙය එක්තරා අකාරයක JVM (Java Virtual Machine) ක් වන අතර මෙය ඇන්ඩ්‍රොයිඩ් සදහා සැදූ අවම සම්පත් (බැටරිය. සකසනය , මතකය )
ප්‍රමාණයක් භාවිතා කරමින් ධාවනය වීමත සකසා තිබෙනවා. JVM තුල .class ආකාරයේ ගොණු ධාවනය උනත් මෙහි ධාවනය වන්නේ .dex වර්ගයේ ගොනු වීම විශේෂ ලක්ෂනයක්.

ඇන්ඩ්‍රොයිඩ් හි ප්‍රධාන චරිතයක් වෙන මෙම Dalvik වර්චුවල් එන්වයරෝමෙට් එක සංවර්ධනය කර ඇත්තේ ගූගල් ආයතනයේ ඩැන් බෝර්න්ස්ටන් මහතා විසින්.

Core Java Libraries

මෙය Java SE හා Java ME ගොනු වලින් වෙනස් වෙනවා. නමුත් මෙහි ගොනු ඇති බොහෝ ක්‍රියාවන් අතින් Java SE ගොනු වලට සමාන වෙනවා.

Application Framework

අප ලියන ක්‍රමලේඛන කෙලින්ම් ක්‍රියා කරන්නේ මෙම ස්තරය හරහා. එම නිසා ක්‍රමලේඛන ලියන අයට මෙම ස්ථර පිලිබද ඉගෙනීම ඉතා වැදගත් වෙනවා.
මෙම ස්ථරයේ අපට වැදගත් වන ස්තර කීපයක් පහත දැක්වෙනවා.

Activity Manager: සියලුම ක්‍රියාකාරකම් සිදු කිරිම හා එය පාලනය
Content Providers: වැඩ සටහන තුල දත්ත හුවමාරුව පාලනය
Telephony Manager: සියලුම ඇමතුම් හා ඊට අදාල සේවා පාලනය
Location Manager: GPS හෝ සේවා දායකයන් හරහා ස්ථානය හා එහි සේවාවන් පාලනය
Resource Manager: අප යොදා ගනු ලබන විවිධ වර්ගයේ සම්පත් පාලනය කිරීම

Applications

ඉහලින්ම ඇති  ස්තරය මෙය වෙනවා. අපගේ සියලූම වැඩසටහන් අඩංගු වෙන්නේ මෙම ස්තරයේ. පහත ඇත්තේ මෙම ස්තරයේ ඇති වැඩසතහ්න් සදහා උදාහරන කීපයක්.

SMS client app
Dialer
Web browser
Contact manager
Calculator
Talking Cat

දැන් ඔබට ඇන්ඩ්‍රොයිඩ් හි ආකෘතිය ගැන මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් සම්බන්දව දළ අදහස් ඇතැයි මා සිතනවා. මා මෙම ලිපිය මගින් උත්සාහ කරේ ඇන්ඩ්‍රොයිඩ් ක්‍රමලේඛනය සදහා මූලික ආරම්භයක් ලබා ගැනිමයි. මීලඟ ලිපියෙන් ඇන්ඩ්‍රොයිඩ් වින්ඩොව්ස් පාරිසරිකය මත ස්ථාපනය කිරීම හා එමගින් ඉතා සරල වැඩසටහක් සදා ගන්නා ආකාරය පියවරින් පියවර ඉදිරිපත් කරන්ඩ බලා පොරොත්තු වෙනවා.

Posted in Android ක්‍රමලේඛණය | Tagged , , , , , , | ප්‍රතිචාර 18

උපන්දා සිට ඔහු හා මා

“අඩවන් කරන ලද දොර ඇති කාමරයෙහි උන් වින්නඹුව ‘සරම’ යයි කියනු ඇසු තාත්තාත් සහෝදරියනුත් ඥාති සහෝදරියනුත් බෙහෙවින් සන්තෝෂ වුහ යි මගේ නෑයන් කියනු මා නොයෙක් වර අසා ඇත. ඔවුන් එතර්ම් ප්‍රීති වූයේ පිට පිට කම්බා අටක් බිහි කළ අම්මා වැදු ‘එකම’ සරම මා බැවිනි.”

කොතරම් වේලාවක් මා ඒ කාමරය දෙස බලා සිටියා දැයි මට නිච්චියක් ඇත්තේම නැත. කුඩා කාමර දෙකක් හා අලින්දයක් හා කෑම කාමරයක් පමක් තිබු ‘ඔපිසර’ මහතාගේ නිවසේ ගැහැනු දරුවන් අටක් සමගින් කුඩා ‘මාටින්’ ගේ දිවිය කෙබදු වන්නක් වූවා විය හැකිද..? පහත රට එකල ගෘහ නිර්මානයට ගැතිව තිබු ඒ කුඩා නිවස මා ඉතා ප්‍රිය කරන මාතලේ ඇල්ලේපොළ වළවුවට වඩා සුන්දර වුයේ කුමන අරුතින්ද කියා දන්නේ නැත. උපතින් හා හැදියාවෙන් මුල සිටම උඩරැටියෙක් වු මා හැමවිටම උඩරට ආරට උල්පන්දන් දෙන අයෙක් විමට මගේ සිත නිතර ඉදිරිපත් වෙනු ලැබෙයි. නමුත් මගේ සිතේ ආකල්ප පරදා ‘මටින්ගේ’ නිවස මගේ සිත තුල අරක් ගන්නා ලදි. බාගදා එය වික්‍රමසිංහයන් කෙරේ මා තුල ඇති අප්‍රමාන ඇල්ම නිසා විය යුතු බව මගේ හැගීමයි. මඩෝල් දූවෙන් වික්‍රමසිංහයන් කියවු මා අද වනවිට ඔහු ලියු බොහොමයක් දෑ කියවා ඔහු කෙරේ මහා භක්තියකින් පසුවන්නෙක් මි.

අතිශය දීර්ඝ වූත් කර්කශ වුත් කාර්ය බහුලත්වය ඉවරවීමත්, අසනීප ගතිය පහව වීමත් සමගින්ම ඊයේ කොග්ගල, මාටින් වික්‍රමසිංහයන්ගේ උපන් ගෙදර බැලීමට මා ඇදගෙන යනු ලැබුවේ තිෂාරාය. ගමනට පිටත් වු සෙනසුරාදා ට පෙරදා සිකුරාදා මා නිවසට ආවේ රාත්‍රි දෙළහේ කනිසම වැදී ඇබින්දමක් ගතවීමෙන් පසුවය. එතෙක් නිදිවර්ජිතව සිටි තිෂාරා උදෑසන කෑම පිලියෙල කොට ගමනට ඇවසි සියලු අඩුම් කුඩුම සකසා මා ඇහැරවන තුරු මා කරේ හොදහැති නිදා ගැනීමය. පිළිවෙලින් බොහෝ දිනක් මගේ දින චරියාව මෙය වු බැවින් ඇගේ කෙඩෙත්තු ගතිය ඉතා බලවත් එකක් වීය. එබැවින් තිෂාරාගේ ඇගේ මවගේත් නිර්දේශය වූයේ ‘කෝච්චියේ’ යෑමය. කොළඹ ආ මා කෝච්චියේ ගොස් ඇති උපරිම දුර වේයන්ගොඩ වෙයි. ඒ කසුන්ලාගේ ගෙදරය. කසුන් මෑතක මට හමුවු හිතවතෙකි. ඉන්පසු කෝච්චි ගමනක් ගියේ නම් ඒ කොග්ගල ගමන වෙයි. එය මාගේ මෙතෙක් ගිය දීර්ඝතම කෝච්චි ගමන ද වෙයි. මාතලේ සිට නුවරට කෝච්චි ඇතැත්, ඒවායේ යනවාට වඩා බසයේ හෝ වෙනත් වාහයක යෑම ඉක්මන් නිසා, පාසැල් ළමුන් ඇරුන විට අනෙකුත් ඈයෝ කෝච්චියේ නුවර මාතලේ යෑම උගටහය.

දහය පමණ වන විට කොග්ගලින් බැස ගත් අප දෙදෙනා පයින්ම වික්‍රමසිංහයන් උපන්ගෙයි සොයා කොග්ගල මුහුද අයිනෙන් යන්ට විය. සෙනෙහෙබර මෙන්ම ප්‍රඥ්ඤා වත්ත තැනැත්තියක වු වික්‍රමසිංහ මැතිනියගේ අප්‍රහිත ධෛර්ය හේතුවෙන් එවකට ආන්ඩුවල යම් යම් දායකත්වයෙන්ද අද කොග්ගල ප්‍රාඥයාගේ බොහෝ දෑ එකතු පහදු කොට සිංහල ජාතියේ වගේම සිංහල සංස්කෘතියේ පිනට කෞතුකාගාරයක් කරවා සංරක්ශනය කරමින් ඇත. එය ඉතාම වටින දෙයක් වෙයි.

“කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකුව සිටි ‘ජෝශප් නීඩ්හැම්’ තාත්තාගේ ජාතක කතා විමසුම් ගැන ඔහුගේ පොතක සාකච්ඡා කර තියෙනවා. එතුමා මාර්ටින් වික්‍රමසිංහ ‘කොග්ගල මහා ප්‍රාඥයා’ යන නමින් හැදින්වීය. මහාචාර්ය නීඩ්හැම් 1978 දී සමාරම්භක මාර්ටින් වික්‍රමසිංහ දේශනය පැවැත්වීමට පැමිණි විට මම ඔහු තාත්තාගේ පුස්‌තකාලයට කැඳවාගෙන ගියා. එහි තිබුණු නීඩ්හැම් මහතාගේ පොතක්‌ තෝරා එහි පිටුවක්‌ පෙරළා තාත්තා පැන්සලකින් එහි තැබූ සටහනක්‌ ඔහුට පෙන්වුවා.”

වික්‍රමසිංයන්ගේ පුතෙකු වු රංග වික්‍රමසිංහ වෛද්‍යතුමා විසින් කලකට ඉහත තම පියා අරඹය කරන ලද ප්‍රකාශයක් වන මෙය, වික්‍රමසිංහයන්ගේ ‘කොග්ගල මහා ප්‍රාඥයා’ යන්බ විරුදාවලිය ලැබීමේ හේතුපාඨය මතුකර දක්වනු ලබනවා.

කෙසේ නමුත් මා ඉතා පැහැදීමට ලක් වු ගමනක් වු ‘කොග්ගක කෝච්චි’ ගමන සියුම් දුකක්ද මතු වූයේ මහාචර්ය සරච්චන්ද්‍ර මහතා සිහිවීමෙන්ය. ඒ සම්බන්දව වෙනම ලිපියක් ලිවීමට සිතා සිටින බැවින් මුලාංකුරය පමනඛ් මෙහි සිට වීමට මා ඉටා ගනිමි.

මට වික්‍රමසිංහයන්ගේ උකෘෂ්ට කෘතිය වන්නේ “විරාගයි” කුමක් නිසා හෝ මා විරාගයේ ‘අරවින්දට’ මහා ඇල්මක් ඇති අයෙක්මි. ‘සැමි’ විසින් අරවින්ද ගැන මෙසේ කියනු ලබයි.

“ඔහු බුද්ධියට වඩා දියුණු කල හැඟීම් ඇත්තෙක් යි මට නිසැකවම වැටහිණි. ඔහු අනුන්ට දැක ගත හැකි සේ කෝප නොවීය; ශෝක නොවීය; ඔහු තමාගේ දයාව, කරුණාව, ආදරය වචනවලට නඟා කටින් පිට නොකළේය. එහෙත් ඔහු අප මෙන් කෝප වන්නෙක් විය. කෝපය නැඟුණු වහාම ඔහු එය අනුකම්පාවට හරවා ගත්තේය. කෝපය වුවද ආදරය වුවද මැඩ ගන්නට වෑයම් කරන්නා සිතින් පීඩා විඳියි. අරවින්ද ගෑනියකට ආලය නොකරන, කෝප නොවන කෙළෙසුන් මැඩ ගත්තෙකු ලෙස ජීවත් වූයේ තමාගේ ඇතුලු හදට වද දීමෙන් බව නිසැකය. අරවින්දගේ චරිතය හාරා ගරා එහි ඇති තිරුවාණ ගල් හා බොරළු මෙන්ම මැණික් ද සෙවීමට මා තුළ දැඩි කුහුලක් හට ගත්තේය”

බොහෝ විට අපගේ පරමාද්‍රශින් කොට ගන්නේ අපට වඩත්ම දැනෙන චරිත බව පිලි ගන්නා මතයකි. එබැවින් මඩෝල් දූවේ ‘උපාලි ගිණිවැල්ලේ’ හා ‘ජිනදාස’ බොහෝ සේ ලෙන්ගතු වීමි. ඒ මගේ කුඩා සමයේ මා එවැනි අංඩර වැඩ කොතෙකුන් කර ඇති බැවිනි. පසු කලෙක ආන්ඩුවේ විභාග සමර්ථ වෙමින් නගර‍යට ආ මා අරවින්දට, පියල්ට, තිස්සට, දෙවොන්දරා සං ට දුයිශෙන්ට මහා ලෙස ප්‍රේම කලේමි. නමුත් අරවින්ද තරම් අනෙකෙකු මගේ සිත් ගත්තේ නැත. මගේ අතීත සිද්ධි හා අරවින්ද යනු දෙදෙනෙක් නොව එකෙකු ලෙස මා සිතීමි.

එනික්බිති මා වඩත් ආසවෙන් කියවු දෙයක් වේ නම් ඒ ‘උපන්දා සිට’ හා ‘අපේ ගමය’ ය. එය කීප සැරක් කියවා මා මගේ ගම ගැන මා සිතු හැටි පෙර ලිපියකින් ලියන ලදි. එම ලිපිය ලීමට මගේ සිතුවිලි තීව්‍ර කරන ලද්දේ බැද්දගේ මහතාගේ ‘කන්දේ ලන්දේ’ නම් ගීතයයි.මා පුංචි කාලේ ලැබු ආ‍දරේ සුන්දරත්වේ ( ( මා ලියු එම ලිපිය http://wp.me/p10pru-fG ) ) මැයෙන් මා ලියු එම ලිපිය තුල මා ගොනු කලේ මගේ කුඩා සංදිය වෙයි.

වික්‍රමසිංහයන්ගේ පොත් කියවන්නෙකු තුල තමා කෙරේම වන ස්වං විවේචායන් ඇතිවන බව මාගේ අදහස වෙයි. බරසාර නැතත් වියත් සිංහලෙන් බස ලියු අයෙක් ලෙස මා වික්‍රමසිංහයන් හදුනා ගනිමි. එවැනි ලේඛන පෞර්ශයක් ඇති වික්‍රමසිංහයන් නූතයයේ කෙතෙක් දුරට කියවා ඇත්දැයි මා තුල ඇත්තේ දැඩි ප්‍රශ්නයකි.

අනූවේ දශකයේ සිට බිහිවී ඇති අද පරපුරේ තාරුණ්‍ය ඉතා අසික්කිත අයුරුන් සංකෘතික හෝදා පාළුවකට ලක් වී ඇත. යටත් විජිත කරනයෙන් පසු ඇතිවුනු අරාජික රාජ්‍යතන්ත්‍රියත්වයත් බටහිර ගැති ආර්ථික සමාජිය මෙන්ම සංස්කෘතික ‘අධිකතර’ ගැති කමත් නිසා අද අප සෑම අංශයකම අතිශය සැලකිය යුතු මට්ටමක ජාතියක් ලෙස පිරිහෙමින් සිටිමු.එම කාරනා ගැන මා විඩින් විඩින් ලියා ඇතත් ක්‍රියාත්මක වන තාක් ප්‍රථිපල දැකගත නොහැකි නිසා ඒවා ගඟට කපා දැමු ඉණි බවට පත් වී ඇත.

මෑතක අප අතරින් කලුරිය කල අහුබුදුවන් මෙන්ම කේ.ජයතිලකයන් යලිදු ඉපදි නිර්මාණ කරනු ඇතැයි සිතා සිටීම අනුවන කමකි. සතියකට එක පොතක් බැගින් නිකුත් කරන “සුජීව ප්‍රසන්න ආරච්චිලා” ලා හා, මහා බර සාර වදන් ගෙන වදන් කොටා අඹුන් තනන සන්නස්ගලාගේ අනුගාමිකයන්ගේන් මතුවට කියවිය හැකි විරාගයේ ‘අරවිදලා’ හෝ ගම්පෙරළියේ ‘නන්දලා’ හෝ ඇතිවනු ඇතැයි සිහිනයෙන් හෝ සිතිය හැකි නොවේ.

වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා හා අනගාරික ධර්මපාල මහතා ආදී ජාතිප්‍රේමීන් පෑන හැසිරු ලෙසට පෑන හැසිරීමට අද ජාතිප්‍රේමින්ට නොහැකි වී ඇත. ඇතැම් දේශපාලන ජාතිප්‍රේමීන් “කට කියවා ඇඟ නලවා” විජාතික ඇදුමම අදිමින් විජාතිකයන්ට දෙස් තබයි. සියල්ල අනිපැත්ත ගසමි ඇත.

මාටින් වික්‍රමසිංහ අපේ මහා ගත්කරුවා හා ඔහුගේ සෙනෙහෙබර බිරිද ගේ සමාධිය දෙස යලිත් වරක් බැලු මා තිෂාරාගේ අතින් අල්ලාගෙන කොග්ගල මුහුදු වෙරළට ගියේ බඩේ ගින්දර සමගම සිංහල ජාතිය ගැන වු බඩේ ගින්දරද සමගිනි.

– මෙයට
උමන්දා ජයෝබණ්ඩාර

Posted in කයිවාරු | ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඉල් මහේ මල්

ඉල් මහේ මල් පිපිලා ඇත
ඉහට ඉද්දර සිහිනයේ
අනෝරා වැහි වැටුන හින්දද
ගං දෑලේ මඩ බේරුනේ

කබොක් ගල් යට හැංගිලා යන
තරුණයෙකුගේ සිතුවිලි
එකතු කරගත් මෙරුන් මිය යයි
කම්හලේ ලන්තෑරුමේ

සිල්ලරට රට කෙසෙල් විකුණන
හංදියේ සෝමගේ කඩේ
පාන් පෝලිම සද්ද නෑ අද
වෑර්ලස් එක හාමතේ

යල් කන්න නියගයට පිච්චි
මහ කන්න වැස්සට පෙගි
බඩේ බත් නැති අප්පුගේ කලුරිය කලේ

ඉල් මහේ රතු කොඩිය ඉරිලා
පාට මැකිලා බොද වෙලා
දෙවුලොවේ හුන් වීරයෝ ඇත
තාප්පය මත ඇලවිලා

ආත්මය විකිනෙමින් මුදලට
ඉල්මහේ ලේ කළු වෙලා
සොහොන් කොත් මත සුවෙන් නිදිගත්
විරයා අද බොල් වෙලා

– උමන්දා ජයෝබණ්ඩාර

Posted in සදැස් / නිසදැස් | Tagged | ප්‍රතිචාරයක් ලබාදෙන්න

කලියුගයේ “ආයිස්චර්යයන්” – (කා)පාන්

ලංකාව ඉන්දියාව ආදි දකුණු ආසියාවේ මිනිසුන්ට මහා ලෙඩක් ඇත. ඒ සෑම දේම විගසින් අමතක වීමය. ලංකාවේ අපිටද එය ඇත.
වසර 30 ක් තිස්සේ මහා යුද්ධයක් විය. එය දැන් ඉවරය. ඉවර වී ගොඩක් ද කල්ය. නමුත් අපට යුද්ධය තිබුනාද කියා මතක නැත. ඇතැම් විට එය “ආයිස්චර්යයේ” පෙර ලකුණු විය හැක. නමුත් පහු ගිය දවස් වල ටි20 යැයි කියු ක්‍රිකට් උණ අද වන විට නිමිලාය. ෆේස්බූක් එකෙත් දැන් සංගා මහේල ගැන කිය වෙන්නේ නැත. නාලන්ද ආනන්ද රාජකීය ආද මහ විසල් වු පාසැල් ගැනද කියනවා අඩුය. ඇතැම් විට එය “ආයිස්චර්යයේ” බල මහිමය නිසාම විය යුතුය.

පහුගිය දොහේ නියං සාය බොහෝ විය. වැව් සිදි වැව් මඩ දූවිලි වී යන ලදි. නමුත් දැන් හිටු කියලා වහිනවාය. ඇතමුන් කියන්නේ බෙන්ගාල බොක්ක කුණු වෙලා කියාය. ඉංදියාවෙන් හලන කුණු වලට එය එසේ නොවෙයි කියලා කොහොම හිතන්ඩද..?

මේ හැම අස්සේ රට කරවන පොකුණ මැද සාලාවේ උන්නාන්සේලා හැමදාම එකතු වෙනවාය. රට යන අත කෙසේ වෙතත් බඩ එන වග දන්න නිසාදෝ බොහෝ අය වින්ටර් එකේ හිම සොයා යන්නට හදනවාය. ඇතැමුන් රැඩිකල් ප්‍රතිපති ගෙනෙන විට ඇතැමුන් එයට බණිනවාය.

“ආයිස්චර්යයේ” බල මහිමය උඩු දුවා ඇති බව මම ඊයේ ආන්ඩුවේ පුවත් බලා සිතා ගතිමි. පාන් මිල 40 සිට 400 දක්වා තිබෙනවාලු. 400 ගුනාත්මක වැඩිලු. එසේ නම් 40, 400 වඩා ගුණ අඩු විය යුතුය. ගුණාකාරය 10ක් නිසා දහවාරයක් ගුණ අඩුවී ඇති බව මට සිතෙන්නේම නැත. ඒ “ආයිස්චර්යයේ” බලමහිමය නිසා හෝ මම ආන්ඩුවට ගැති නිසා හෝ රාජ පක්ශ පාති නිසා හෝ විය යුතුය. නමුත් ඊයේ 400 සීයේ පාන් ගැන කියු “බේකරි” හිමියාට සිංහල වචන කතා කිරීමට බැරිය. හේ පිටරටින් විත් මයිකල් ජැක්සන් වගේ ප්ලාස්ටික් සැත්කමක් කර ගත් සුද්දෙක් විය යුතුය.

කලියුගයේ තවත් “ආයිස්චර්යයන්” ඉදිරියේ ලිවීමට අද සිට බලාපොරොත්තු වෙමි.

උමන්දා ජයෝබණ්ඩාර

Posted in කයිවාරු | එක් ප්‍රතිචාරයක්

බිරිතානියේ සිට කටු ගෙට යන අපේ “කටුගෙය” – කොළඹ ජාතික කෞතුකාගාරය

කොළඹ හතේ මාකස් ප්‍රනාන්දු මාවතට මුහුලා ධවල වර්ණයෙන් තේජස්ව නැගි සිටින සුවිසල් දෙමහල් ගොඩ නැගිල්ලක් වෙයි. අධිරාජ්‍යවාදයේ ඇති ස්වදේශියයන් පීඩිතභාවයට පත් කල වික්ටොරියානු ගෘහකාර්මාන්තයෙන් සුභාවිතව එය තවමත් නිසොල්මන්ව බලා සිටියි. ඉදිරි පසම ඇත්තේ පුහු මාන්නයෙන් ඔලුව උදුම්මා ගත් සුදු ජාතිකයකුගේ රුවකි. හෙතෙම ශ්‍රිමත් ලියම් හෙන්රි ග්‍රෙගරි මහතාය. අටසිය හැත්තෑ දෙකේ (1872) ගෙගරි ලංකාවේ ආන්ඩුකාර තැන බවට පත්විය. අතීත්යක් නැති යකඩින් හා පිඩිතයන්ගේ දහඩිය කදුලින් පටපිලි තනා විලිවසා ගත් බටහිරුන්, ඉවක් බවක් නැතිව පෙරදිග පෞඩ ඓතිහාසිකත්වය කොල්ල කන ලදි. එය වඩා ප්‍රචලිත කිරීමේ ක්‍රමවේදය ලෙස රාජකීය ආසියාතික සංගමය අටවන ලදි. භාරතය, ලංකාව, චීනය වැනි පෙරදිග සුවිශේශි ස්වදේශික සම්පත් බිරිතාන්‍ය ඇතුලු යුරෝපීය අගුපිල් වල ගොඩ ගැසෙන්නට විය.මෙවැනි ස්වභාවයක් පැවති කාලවකවානුවේ රාජකීය ආසියාතික සංගමයේ අවධානයෙන් ගෙගරිගේ මූලිකත්වයෙන් එකදාස් අටසිය හැත්තෑ හතේ ජනවාරි එක වැන්නේදි ( 1877 – 01 – 01 ) කොළඹ ජාතික කෞතුකාගාරය යනුවෙන් ප්‍රථමයෙන් හඳුන්වනු ලැබූ වර්තමාන ජාතික කෞතුකාගාරය පිහිටවනු ලදි.ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නව ගොඩනැගිල්ල සඳහා සැළසුම සකස් කළේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යාඥයා වූ ජේ. ජි. ස්මිදර්ය. මෙහි ඉදිකිරීම එකදාස් අටසිය හැත්තෑ හයේ (1876) දී නිම වූ අතර ඊළඟ අවුරුද්දේ දී කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරිණි. මේ සිංහල රටේ වැලලි ගිය අතීතයේ අනගිභවනීය අභිමානයේ නෂ්ඨාවශේෂ එතුල තැම්පත් කෙරින. පරණවිතාරනයන්ගෙන් පසු අපට සිටි සම්පතක් වු ආචාර්ය පි. ඊ. පී. දැරණියගල මැතිදුන්ගේ යුගයේදී මෙම ආයතනය ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවක තත්ත්වයට පත්විය. යාපනය, මහනුවර සහ රත්නපුර යන නගරවල කෞතුකාගාර පිහිටුවීමත් සමඟ 1942 අංක 31 දරණ ආඥා පනතින් මෙම ආයතනය වෙනම දෙපාර්තමේන්තුවක් බවට පත්විය.

එකී ඉතිහාසයක්ද ඇති අපේ කෞතුකාගාරයට, නොහොත් අපේ කටුගෙට ඊයේ මා ගියෙමි. කඩු හොරකම වීමෙන් කලක් වසා තිබු කටුගේ දැන් මහජනයාට පූර්ණව විවෘත කොත ඇත.කඩු හොරුන් යලි නොයිතැයි කියා හෝ හොරාගේ අම්මාගේන් පේන අසා වැඩක් නැති නිසා හෝ කටුගේ දැන් මහජයාට විවෘතව ඇත. විශේෂ අධ්‍යන කටයුක්තක් සදහා නොවුනත්, රාජ් සෝමදේව මහතා ආචාර්ය සූරිය මහතාගේ “ඓතිහාසික රාවනා” කෘතිය දොරට වැඩිමේදි කල දේශණයේදි ඉදිරිපත් කරන ලද ප්‍රාග් ඓතිහාසික කාරනා කීපයක් ගැන සොයා බැලීමට මා තුල උනන්දුවක්ද තිබු බැවින් මා තිෂාරාද කැටුව කටු ගෙට ගියෙමි.

ප්‍රවේශ පත රුපියල් 25කි.ඇතුලුවන පුලුල් මග දෙපස ඇත්තේ අලංකාර උද්‍යානයකි. එහි “නිදිකුම්බා”, “මොනර කුඩුම්බිය”, “බැලතන”, ආදි සුන්දර පුෂ්පලතා වලින් අලංකෘත වී ඇත.ගස් යට තෙතමනය රකිනු වස් අතුරන ලද “හැක්ස්” ටොෆි කොල, “ජම්බෝ ජොලි” කවර, කඩල පැකට් ආදි නා නා විසිතුරු පැහැති “පොලිතින්” කොලය. සුවිසල් බිත්ති මත පින්න, වැස්ස ආදි විපත් වලින් රැකගනු වසු ඉබේ වගා වීමට හරින ලද “මකුලු” නම් දැල්වර්ගයය. ඒවා අතරින් නවකතා පොත් කීපයක් අතේ තබා ගත් පිළිගැනීම් නිළධාරිනින් හා නිළධාරීන්ය.

පළමු කොටස ප්‍රාග් ඓතිහාසික කොටස වෙයි. මා ඇතුලු වු සැනින් රිංගනු ලැබුවේ එම කොටසට නමුත්, කොහෙන්දෝ ආ කොළු රැලක් මහ හයියෙන් අඩිපොළවේ ඔබා කල ගෝශාවෙන් මගේ දැහැන බිදුනි. එවිට මා පරිනාමයේ වක්‍රය ගැන තිෂාරා හා වාදයක පැටලි සිටියෙමි. ඇය රසායන විද්‍යාව හා ජීව විද්‍යාව තුලින් කතා කල අතර මා සෛධාන්තික තර්ක ඔස්සේ කතා කරන ලදි. නමුත් එතැන ආ කොලු රොත්ත නිසා මා එතැනින් ඉවත් වීමි. මා පරිනාම වාදය 100% ක් පිලි ගන්නා අයෙක් නොවේ. මිනිසා වානරයාගෙන් පරිනාමය වූවා යැයි කියන කතන්දරය මා පිළිගන්නේ නැත. ඒ සදහා මගේ කතන්දරයක් ඇති මුත්, එය කීමට මා තවම සමාජයේ මෝරා නැත. ඒ ගැන තව තවත් අධ්‍යනයක් කොට අවස්ථාව එනතුරු මා බලා සිටිමි. ඉන් අනතුරුව මා හා තිෂාරා වැදුනේ අනුරාධපුරයේ හා පොළොන්නරු යුගයේ මෙන්ම අන්තර් යුගය හා මහනුවර යුගය දක්වා වු දේ නැරඹිමටය.මීට වසර ගානකට පෙර තිබු දේ තවමත් එලෙසම තබා ඇත.මහාවංශයේ ඇති “ඇතැම්” සාවද්‍ය තැන් ලස්සන පුවරු වල ප්‍රදර්ශය කොට ඇත. ඒවා නරඹන විදේශිකයන්, මෙන්ම අපේ දරුවෝද ඒවා සටහන් පොත්වල ලාගනු දුටිමි.

කොළඹ මා දකින සෑම තැනකම වාගේ මෙතැනත් මුස්ලිම් සහෝදරයන්ද බොහෝ විය. පාසැල් ලමුන් ඇරුන විට සිංහල මූණු ලෙස මා දුටුවේ මුරකරුවන් හා ආරක්ශක නිළධාරින් පමණය. සිංහල කොළඹ මිනිසුන් ඇතැම් විට “ඩවුන් සවුත්” හෝ “අප් කන්ට්‍රි” හෝ ගොස් විය යුතුය.

පැය හතරක් පමණ ගත කල අපි එළියට ආවේ මා හට මානව විද්‍යා හා සත්ව විද්‍යා අංශයට යෑමට අවැසි වු නිසාය. මාගේ අවසනාවට ඒවා වසා තිබුනි. “රාජ්‍ය සේවය” සෙනසුරාදා වැඩ නැති බව මට සිහිවුයේ පසුවය. පැටිස් දෙකක් ගිල දැමු අප දෙදෙනා ජෝන්ද සිල්වා එක පැත්තෙන් පිට වීමට සිතා ඒ දෙසට ඇදුනි. මහා උසට හැදු කොටසක් හිදගත් කාන්තාවකි. එහි පාමුල තිබු පුවරුවේ තිබු වී අකුරේ හැඩයෙන් එය වික්ටොරියා බිසවගේ බවට මා නිච්චි කලෙමි. ඉදිරි පසින් ගෙගරි “අපේ අභිමානයට” පස්ස හරවා සිටින අතර පසුපසින් වික්ටෝරිය අපේ ජෝන්ද සිල්වා හා කලා භවනට “පස්ස හරවා” ඇත.

ඉන් පිටත් වූයේ කළකිරිමක් සහිත මනසිනි. සුදු මහතැන්වරු කටුගේ සාදා ඔවුන්ගේ අභිප්‍රාය ඉටුකරගෙන ඇත.ඒත් අපි එය ලෙව කකා ඇත.අපි තාමත් සෑම අතින්ම බටහිරයන්ට නිවට වී ඇත. නිදහස සමරන නිදහස් චතුරස්‍රය අපි “ටොරින්ටන් චතුරස්‍රය” ලෙස ගාම්භීර ලෙස පවසයි. ටොරින්ටන් යනු අතිශය දීන තක්ක්ඩියෙක් බව දන්නේ කීදෙනාද..? “අරවින්ද පුෂ්පකරණි” තම නමින් නම්වන යුගයේ නිදහස් චතුරස්‍රයට “වීර පුරන් අප්පු” චතුරස්‍රය කියා නම් දීමට කුරන් සාටක නොවැනෙන්නේ “කුරහන් සාටකය” නමින් ඇත්තේ “තිරිගුද” කියා මට නොතේරෙන නිසා විය යුතුය.

පසු ගිය සතියේ ඉදිරිපත් වු පුරා විද්‍යා කටයුතු සදහා වන කැබිනට් යෝජනාව ඉතා හොදය. එය සම්මත විය යුතුය. නමුත් එය ක්‍රියා කරන ආකාරය පිලිබද විස්වාසයක් නැත. එසේම “ජල” බද්ද ගැන ඇති තීරණයද ඉතා හොදය. පරිසර විද්‍යාව ගැන හදාරන්නෝ අඩු නිසා හා ඒ ගැන දන්නෝ අඩු නිසා ද කොහෙදෝ, ෆෙස්බූක්, බ්ලෝග් ආදි අන්තර්ජාල සන්නිවේදන කාරනා හරහා “ජල” බද්ධට රජයට පලු යන්ඩ බැන තිබෙනු මා දුටිමි. ඒ ගැන වෙනම කතා කලයුතු බැවින් එය මා මෙයට ඈදා ගන්නේ නැත.

මාගේ ප්‍රියතම විද්‍යාව බටහිර භෞතික විද්‍යාව වු නමුත්, මා පුරා විද්‍යාවට ඇලුම් කරන්නේ, එතුලින් ලබා ගත හැකි යට ගිය විද්‍යාවේ ඇති සුභාවිතකම නිසාය. නමුත් පශ්චාත් උපාධි ආයතනය ඇරුන කොට , මේ විශය හැදැරීමට තැනක් නැත. අද අපේ පරම්පරාව ඉතිහාසය දන්නේම නැත. සියලු දේ බටහිරින් අප ලබාගත් දේ බව පොදු පිළිගැනීම වී ඇත.

බටහිර එය පූර්ව යටත්විජිතවාදය හා යටත් විජිතවාදය තුලින් වගා කොට ඇත. පශ්චාත් යටත් විජිතවාදය තුල අප අද සිරවී ඇත. බටහිර අද ඉහත වගා කරන ලද බීජයන්ගේ අස්වැන්න නෙලමින් ඇත. අස්වනු නෙළනුවෝනම් අපේ මිනිසුන්මය. බතර ගැත්තෝ නම් ඔවුන්ය. ජාතිය, දේශය, සංස්කෘතිය ගැන කතා කරන්නෝ වගාවට හානිකරන පළිබෝධකයන් ලෙස බටහිරුන් හදුන්වා දී ඇත.

මෙවැනි වපසරියක දැවැන්ත මන්දිරයක තබා ඇති අතීත නටබුන් වලට වන්දනා මාන බාර හාර ඔප්පු කිරීම විනා, යටගියාව සුරකිමින් එය ඵලදායිව “නිවහල්ව” අපරටට “ස්වෛරී” මානසිකත්වයෙන් ලබා දීමත ක්‍රමවේද ඇති වී නැත. නමුත් අප යතුරු මල්ලක්ද සමගින් “ආසියාවේ ආයිස්චර්යයේ” දොර ලඟටම ගොස් ඇත. නමුත් දොර ඇරිය යුත්තේ කුමන යතුරෙන්ද කියා කිසිවකු දන්නේද නැත.

– උමන්දා ජයෝබණ්ඩාර

Posted in කයිවාරු | එක් ප්‍රතිචාරයක්

ෆෝටෝෂොප් ඡායාරූප ශිල්පීන්ට පමනද..?

ෆොටෝෂොප් කියන්නේ මෘදුකාංගයක්.ඒක නිපදවලා තියෙන්නේ රූප සැකසීම නොහොත් “ඉමේජ් මැනිපියුලෂන්” කිරීම සදහා. පරිඝනකය තුල චිත්‍ර ඇදීම හෝ ඔය කියන ඡායාරූප සංස්කරණය හෝ වේවා ඔය දෙක වැටෙන්නේ “ඉමේජ් මැනිපියුලේශන්” කියන ක්‍රමයට. ඇඩොබි සමාගම නිපදවපු හොද තතවයේ මෘදුකාංග අතරින් ඉදිරියෙන්ම පොටොෂොප් තියෙන්නේ, එය භාවිතා කරන පරිශිලකයන්ගේ පරසය මත. නමුත් මට නම් ඇඩෝබි හි විශිෂ්ටතම නිපැයුප ඇඩොබි ෆෙලෙක්ස්….මැතැන කිසිවෙකු ෆ්ලෙක්ස් භාවිතා කරන්නේ හෝ කර හෝ තිබිය නොහැක. ඒ ගැන වැඩි යමක් මම කියන්නේ නෑ. සොයා බලන්ඩ ඔනෑ නම්.

http://www.adobe.com/products/flex.html

පොටොෂොප් කියන්නේ ඡායාරූප ශිල්පීන්ටම වෙන්වු මෘදුකාංගයක් කියා යමෙන් කියනවා නම්, එය මා සහමුලින්ම ප්‍රතික්ශේප කරනවා. ඒ වගේ මා තේරුම් ගනු ලබන්නේ ඒ ප්‍රකාශය කරනුයේ පොටෝෂොප් හි පූර්ණ දැනුමක් නොමැතිව කියාය. මක්නිසාද යත් පොටෝෂොප් තුල ඇති ඇතැම් විධාන කිසිසේත්ම ඡායාරූප ශිල්පීන්ට නොගැලපෙන නිසාය.

උදාහරණයකට රූප සකසා සුරැකීමේදි එය වෙබ් හා ජංගම උපකරණ වලට ගැලපෙන විභෙදන වලින් සුරැකීමට ලබා දීම.

( Crt + Alt + Shift + s )

ඔවැනි සියුම් දෑ තව බොහෝ අන්තර්ගත කර තිබෙනවා.

ඇඩොබි හි පොටොෂොප් දියුණුකරන සංවර්ධනය කරන මෘදුකාංග ඉංජිනේරුවන් ඇයි එවැනි දෑ එකතු කර තිබෙන්නේ. ඡායාරූප ශිල්පීන්ට මොබයිල් හෝ වෙබ් ආයිතම් සමග ඇත්තේ මොන ගනු දෙනුවක්ද..?

මෘදුකාංගයක් නිපදවීම යනු ඉංජිනේරුවන් අතින් සිදුවන “ක්‍රියාවලියකි” එය චක්‍රයක්. එය කිරීමේ ප්‍රමිතියක් තියෙන්වා. කිසිම හේතුවක් නිසා ආවට ගියාට කිසිදු ශ්‍රිතයක් හෝ, මෙවලමක් හෝ එවැනි කිසිදු ගුනාංගයක් හෝ ලක්ශයක් හෝ එකතු කරන්නේ නෑ. ඔබලාට ඔය පෙනෙන ලස්ස රූප රාමු පිටුපස තියෙන්නේ බටහිර ගණිතයේ විශ්මයයි. ඔබ මවුසය එහා මෙහා ගෙන යන්නේද ගණිත සමීකරණයකට අනුව. සරළව කියන්වා නම් මෘදුකාංග යනු එකතරා ගණිතමය ක්‍රියාවක් රූප මගින් කිරිමට හැකියව ලබා දීමකි.

ෆොටෝෂොප්, අද ඡායාරූප ශිල්පීන්, අතුරුමුහුනත් ඉංජිනේරුවන්, ගෘහනිර්මාණ ශිල්පීන්, චිත්‍ර ශිල්පීන්, ආදි බොහෝ දෙනෙකු භාවිතා කරනවා. ඒකයි මම කිවුවේ මෙහ් භාවිතාව හරි පුලුල් කියලා.

මම හැමදාම කියනවා ලංකාවේ තොරතුරු තාක්ශයන තියෙන්නේ මහා අගාධයක කියලා. යමක් කමක් දන්න මිනිස්සු ඉංගිරිසියෙන් තියෙන පරිඝණක ගැජ මැටික්ස් “බාගෙට” අතගාගෙන සමාන්‍ය අහිංසකයින්ට ඒවා “රොකට් සයස්” වැනිය යැයි කියා ඔව්න් බිය වද්දා ඇත. එසේම තොරතුරු තාක්ශය ගැන ලංකාවේ ඇති දුර්මත විශාල ප්‍රමානයක් ඇත.

අද වෙල පලේ ඇති සිංහලෙන් පලවී ඇති තොරතුරු තාකශන ග්‍රන්ත 99%ක්ම වාගේ සාවද්‍යය. එය මා වගකීමෙන් කියන්නේ මා එය දන්නා නිසාය. බොහෝ අය අද පරිඝනක පංති, පොත්, සී.ඩී. ආදි නා නා දෑ කරමින් එය ජීවන වෘතිය කරගෙන ඇත. නිවැරදි දේ සමාජ ගතවනවා නම් එය කමක් නැත. බොහෝම හොදය. කොම්පුටර් පංතිවල අද උගන්වන්නේ ඔෆිස් පැකේජ පමනි.

මෘදුකාංග වේවා, දෘඩාංගවේවා ජාලාංගවෙවා, මේ හැමදේම තුල ඊට අන්‍යතාවක් ඇත. ලංකාවට කොර් අයි 7 ප්‍රොසෙසර් වැඩක් නැත. නමුත් අපේ ගොයියලා ගන්නේම කොව් අයි සෙවන්ය.

නමුත් කෝ අයි කියන තාක්ශනයවත් දන්නේ නැත. හොයන්නේද නැත.

– උමන්දා ජයෝබණ්ඩාර

Posted in තාක්ෂණික, පන්ති කාමරේ... | ප්‍රතිචාර 2

තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා, සොඳුරියෙ..!

ලියන්ඩ දේකුත් නැතුව බොල් වැස්ස දිහා මම ඔහේ බලාගෙන හෝරාවක් විතර කාලේ කාල දැම්මා. දෙපාරක් තුන්පාරක් විතර තිෂාරා කතා කලත් එසැනි ඇයත් ඉවත්ව ගියේ පූස් කරදරේ වගේම බලුපැටියගේ කරදරේ හින්දා වෙන්ඩ ඇති. වැස්ස හින්දා බලු පැටියා බැදීම වෙනදාට වඩා අසීරි වී ඇති බව ඇගේ වචනවල බරෙන් මා වටහා ගතිමි. ඉන් ඉල්ලිප්පුනු මගේ හිත ඇදිලා ගියේ බක්මී ගහේ කොල අතරෙ තිබ්බ දිලිසෙන වතුර බිංදු දිහාවට. උඩතත්ටුවේ මගේ පරිඝණකය තබා ඇති මුල්ලට සමාන්තරව ඇති සුවිසල් බක්මී ගහ දෙස මා බොහෝ වෙලා බලා සිට ඇති මුත් අද මට යම් විශේෂත්වයක් දැනෙමින් ඇත. මීට හෝරාවකට විතර පොරොත්තුව වැටිච්ච බොල් වැස්සේ අවශේෂ පිරිච්ච බල්මී කොල පාරේ විදී ලාම්පු එළියෙන් දිළිසෙමින් ඇත. මට මතක් වූයේ මා කුඩා කල ගමේදි පිණි වැටිච්ච ගොයමට හඳ එළිය වැටි දිලිසුන අයුරු අප්පච්චි සමග බලා සිටි අයුරුය. අඩවන් දෑසින් අතීතාවර්ජනයක යෙදුන මා ලියන්න පටන් ගතිමි. මා ලියනවා යැයි සිතු තිෂාරාද මගේ කාර්යය කිරීමට දී පසෙකට විය.

මා තුල යමක් තෙරපෙනු මා දුටිමි. බක්මී කොල දෙස බැලු විට එය වඩා තීව්‍ර වන බවක් මා දුටු අතර, මගේ මනස කුතුහලයට පත් කල දේ මට පසක් විය. ඒ ඇගේ නෙත්ය. ඈ දෙස යලි වරක් නොබලාම පහත් කර ගත් හිසින් යුතුව මා ඇය ගැන ලිවීමට පටන් ගතිමි.

ටී. එම්. ජයරත්න මහතා ගයන ඉතා මනරම් ගීයක පද කීපයක් මා පහු ගිය දවස් කීපයේ මුමුණ මුමුණා සිටියෙමි. ඇය සිනාසුනා පමණක් වී නමුත්, ඇගේ රිදී පාට ඇස් තුලින් මා දුටුවේ අපරිමාන ස්නේහයත් , කරුණාබරිත ආදරයේ අනලස් සුවයත් බව මට වැටහිනි.තිෂාරාට ගී ගැයිමට උපතින්ම ආ හැකියාවක් ඇත. එය ඇගේ මවගෙන් ලැබූවකි. ඇයද ගී කීමට දක්ශය. වරක් දෙවරක් මා ඇගෙන් (තිෂාරගේ මවගෙන් ) බලන්ම ඉමාන්ගේ “සුවඳ මල් රේණු පිස එන” ගීය ගයවා ගත් හැටි මතකය. ඒ අතින් ගත් කල මා හට ගී ගැයිමේ පොඩි හෝ හැකියාවක් හෝ නැත. නමුත් මා තිෂාරා සමග සිටින විට ඇයට පමනක් ඇසෙන දේ ගී කොටස් මිමිනීමට හුරු වී ඇත. ඇය එය අසා ඉන්නේ මහා සතුටකින් බව මා වටහාගෙන බොහෝ කල්ය.

මා බොහෝ දේ ගැන ලියා ඇත. නමුත් මා ඇය ගැන ලියූ තරම මදි බව මට හැගී යමින් ඇත. ප්‍රේමයෙන් අබිස් ලද අයට වඩා, විරව තුරුලුකර ගත් සිත් තුල කවීත්වයක් ඇතැයි වරෙක අයෙක් මා හා පැවසීය. මා එදින ද ඔහු සමග එකඟ වූයේ නැත. විරහව සේම ප්‍රේමයෙන්ද මුසපත් වු කල කවීතය පමණක් නොව සකල කලාවටම අධිපති දෙවියන්ගෙන් වරම් ලැබෙන බව මා දනිමි. ප්‍රේමවන්තයෝ වේවා ආදරවන්තයෝ හෝ වෙවා, එයට වයසක් , භේදයක් ඇතැයි මා නොසිතමි. බොහෝ අය ප්‍රේම කර හෝ ආදරය කර හෝ විවාහ වෙති. පූර්ව විවාහ සමයේ පෙම් බස්, ආලවන්තකම් අතිරික්තයක් දරමින් ඇති ඔවුන් විවාහයේ පශ්චාත් සමය පටලවා ගෙන ඇති බව මා දකිමි. තමාගේ බිරිද හෝ තමාගේ ස්වාමිපුරුෂයා හෝ ප්‍රේමවන්තියක, ප්‍රේමවන්තයකු, ලෙස දැකීමට ඔවුන් පෙලබෙන්නේ නැත. ඉන් පසු බොහෝ තැන්හි හෙතෙම කාලාවට සමීප වන්නේම නැත.

මා කුඩා කල සිට ලියු සියලුම කවි, සිංදු, ලිපි, චිත්‍ර, ආදි සියලුම දෑ තිෂාරා සංරක්ශණය කර ඇත. නමුත් ඒවා තුලද ඇයට වෙනුවෙන් වෙන් කරන ලද ඉඩ අල්ප බව මා දනිමි. ඇයට දේශපාලනය වැඩක් නැත. එසේම ඇයට ආර්ථිකය හෝ නිවුටන්ගේ නියම වැඩක් නැත. අයින්ස්ටයිගේ සුශමාදර්ශය,හිග්ස් බෝසෝන් තුලින් බිද වැටුනාට ඇය පුදුම වන්නේ නැත. මාක්ස්වාදය, දයලෙක්තිය ගැන ඇයට ආසවක්ද නැත.නමුත් මා ඒවා කියවාගෙන යන විට ඇය අහක බලන්නේද නැත. මටම ඇති වී නවතන තෙක් ඇය බාධා කරන්නේද නැත. එසේම මා කියන ඇතැම් දෑ සටහන් කර තැබීමටද ඇයට අමතක වන්නේ නැත. මෙවැනි ගුණයෙන් හෙබි තිෂාරා ගැන ලිවීමට මා කොතැනින් ඇරැඹිය යුතුද යන්න මට තෙරෙන්නේද නැත.

ප්‍රේම කිරිමට අවස්ථාවක් ලැබෙනුයේ බොහෝ කලාතුරකින්ය. බොහෝ දෙනාට ආදරය කිරීම බොහෝ විට අවස්ථාව ලැබෙන මුත් එලෙසින් ප්‍රේමය ලැබෙන්නේ නැත. නමුත් මා හට ඒ උදාරතර ප්‍රේමය ලැබී ඇත. පැණිවළලු කන විට පමණක් නොව ඇයගේ නෙත් සැම විටම මා ඉන්නා විටද දීප්තිමත් වීමෙන් මා එය වටහාගෙන ඇත.පැණි වළලු තිෂාරාගේ ප්‍රියතම කෑමය. අපේ අම්මා එය දන්නා නිසා ඇ‍යට පැණි වළලු පාර්සලයක් වරදින්නේද නැත.

ඈ ගැන ලිවීමට ඇති දෑ බොහෝය. එය කවියක්ද , කතාවක්ද, සිතුවමක්ද , කියා මා දන්නේ නැත. නමුත් මා තවමත් ඇය ගැන මට සෑහීය හැකි නිමැයුමක් ගොතා නැත. මා ඇයට ලියන කවි දැක අය හොරෙන් හඬනු මා දැක ඇත. ඒ ඇයගේ සතුට දෝරේ ගලායෑමක් බා මා දනිමි. ඇයට රිසි සේ ඇඬීමට දී මා කරබාගෙන සිටිමි. ඉන් පසුව බොහෝ වේලාවක් මා සමග සිටීම ඇගේ පුරුද්දය. මේ සටන ද ඇගේ නෙතු ගැටුන් පසු ඉනික්බිති අවසානය එයම වන බව මා දනිමි. ඒ ඇය මා කෙරේ වන අසීමිත ආදරයේ සහේතුක සාරාංශයයි…!!!

දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම්
නුඹයි ඒ අම්මා සොඳුරියෙ
නුඹයි ඒ අම්මා

අහස මෙන් ලත් චෝදනා
පොළොව මෙන් දුක් උහුලනා…
මැණියන්වී සෙනෙහසින් මුල් වරට ඉපැදීලා
සොඳුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා

දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම්
නුඹයි ඒ අම්මා සොඳුරියෙ
නුඹයි ඒ අම්මා

සිතට සැනසුම් කල්පනා
ගෙනෙන පාදා වාසනා…
තනා ටජ් මහලයක් පිවිතුරු සෙනෙහෙ ගං තීරේ
සොඳුරියේ නුඹෙ රුව අඹාගමි මහද මන්දීරේ

දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම්
නුඹයි ඒ අම්මා සොඳුරියෙ
නුඹයි ඒ අම්මා..!!!

මේ ගීය මා මුමුණන සෑම විටකම පාහේ ඇගේ නෙත්දෙක කඳුලුවලින් පිරි යනු මා දැක ඇත. මේ සටහන සමග ඇය තවත් අඬනු ඇත. ඒ ඇගේත් මගේත් ඒ සා විසල් ප්‍රේමයේ නිර්ලෝභි හැගීම් වලන් ලත් ශෝබන ආතතයේ මුතු කැටයි.

– උමන්දා ජයෝබණ්ඩාර

Posted in කයිවාරු | එක් ප්‍රතිචාරයක්

ඉබ්බාගේ කරෙන් යන ආසියාවේ ආශ්චර්ය

ඩයලොග් 4G ගැන කියා කොළඹ අවට ටෙස්ටින් කරනවා යැයි කියනු ඇසිනි. මොබිටෙල් රට වටා 4G කුළුණු දහසකට වඩා තැනීමට කොන්ත්‍රරාත් දී ඇත. ඔවුන් පවසන්නේ දකුණු ආසියාවේ 4G ඇති එකම රට ලංකාව බවය. එය ආයිස්චර්යයේ ලකුණක් විය හැකි බව ගං ගොඩේ සොපි නෝනා හා බබන් ගොයියා සිතනවා විය හැක.

ලංකාවේ ADSL හා 3G කියා දෙයක් ඇත. එය වලට Dial-Up ක්‍රමයට වඩා මදක් මන්දගාමීය. ඒ අතර දිවියලෝකයේ සැප ගැන මතක් කරමින් ප්‍රකාශ විද්‍යුත් රැහැන් (Fiber Optic ) මගින් අන්තර්ජාල සම්බන්දතාවය දෙන බවට හද කිලිපොලා යන ආරංචියකද ලැබී ඇත.

Dial Up, ADSL, 3G, 4G, යනු අන්තර්ජාල සම්බන්ධතා සේවාවන් සැපයෙන තාක්ශණික ක්‍රමවේද කීපයකි.

ලංකාව තුල දෛණික විදුලි පරිභෝජනය, දෛණික බොරතෙල් පරිබෝජනය සේම දෛණික අන්තර්ජාල පරිබෝජනයක්ද ඇත. දෙදහ දශකයේ සිට ක්‍රමිකව දියුණු උනු ලංකාවේ තොරතුරු තාක්ශයන දශකයක ඇවෑමෙන් ලෝකයේ ඉතා ඉහළ තතවයකට පැමිණ ඇත. ලංකාව යනු අද ලෝකයේ තෝරතුරු තාක්ශනය සීඝ්‍රයෙන් දියුණුවන රටක් බවට පත්වී ඇත. එය ඉතාම සාධණීය ලක්ෂණයකි.

ලංකාවේ අතිබහුතරයක් අන්තර්ජාලය පරිශීලනය කරන්නන් ෆෙස්බූක් සමාජජාලය තුල වැඩි කාලයක් කාදමනු ලබයි. අද ඇතැම් තොරතුරු තාක්ශනය ඉගැන්වෙන ආයාතනවල අන්තර්ජාලය හදුන්වා දීමට ඔවුන් භාවිතා කරන්නේද ෆේස්බූක් වීම නම්, තොරතුරු තාක්ශණික වෘතිකයන් හැටියට අපට ඇත්තේ විශාල කනගාටුවක්.

කෙසේ නමුත් සෑම අවශ්‍යතාවයකට වගේම අන්තර්ජාල සම්බන්ධතා වෙනුවෙන්ද “ඉල්ලුමට සැපයුම” සමතුලිතව ලංකාවේ ලැබෙන්නේ නැත. සෑම දෙයක්ම සිමා සහිතව ලැබෙනු ලැබයි.

මෙය වඩාත් බලපාන්නේ, සාමාන්‍ය අන්තර්ජාල පරිශිලයන්ට නොවෙන, අතර විශේෂයෙන් සර්වර සදහා වැඩසටහන් ලියනු ලබන ආයතන හා එම ඉංජිනේරුවන් බොහෝ විට මෙම ඛේදවාචකයට ලක්වී ඇත. බොහෝ අවස්ථාවල ඇතිවන අධිකතර “ජාල තදබදය (Network Traffic )” නිසා අතිවන සංකූලතා බොහෝ වෙයි. එය ඇතැම් විට ආර්ථික අතිමහත බලපෑම් කිරීමට සම්ත්ය.

තවද නව තාක්ශණික අංගෝපාංග සහිතව ලියනු ලබන ඇතැම් අන්තර්ජාල මෘදුකාංග සදහා වැඩි වේගයකින් යුතු ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය වෙයි. ඒවා අඩු ජාල සම්බන්ධතාවයක් තුල ක්‍රියාත්මක කිරීම ඉතා අපහසු වන අතර ඇතැම් යෙදවුම් ක්‍රියාත්මක කරවීමටම බැරි අවස්ථා ඇත.

ලංකවේ බාගත වේගයට (Download Speed ) වඩා ඉතා අඩු මට්ටමක උපයත වේගය (Upload Speed ) ඇත.

ලංකාවේ අප බොහෝ විට සියළුම සර්වර විදේශයන්වලින් මිලදී ගෙන ඇත. ඒ සදහා වසරකට ලංකාවේ ඩෝලර් මිලියන ගණන්ක් ගෙවනු ඇතැයි මම සිතමි. හොද තත්වයේ කාර්යශම සර්වර ඉතා ඉහල මිලක් ඇති අතර බාල සර්වරද අපට දැනෙන ප්‍රමාන‍යට මිල අධිකය. විශේෂම කාරනය අප ඒවා සදහා ගෙවීම් කරන්නේ “ඩොලර්” හරහා බැවින් තත්වය තවත් බරපතලය. මක්නිසාද යත්, ඉන් වැයවන්නේ රටේ ඩෝලර් සංචිතයයි.

ලංකාවේ ජාල ඉංජිනේරු විද්‍යාවට වඩා මෘදුකාංග ඉංජිනෙරු විද්‍යාව ඉහල තැනක ඇති බවට මගේ පුද්ගලික විශ්වාසය වෙයි. අපේ රටේ මෘදුකාංග ඉංජිනේරුවන් විසින් හදනු ලබන මෘදුකාංග ඉතා ඉහල තත්වයේ ඇත. ඒ අනුව ලංකාවේ මෘදුකාංග ඉංජිනේරුවන්ට වෙළදපලේ හොද වටිනාකමක් ඇත.

අද ලංකාවේ සීග්‍රයෙන් දියුනුවන විදේශ මුදල් රටට එන ක්‍රමවෙදයක් ලෙස මෘදුකාංග වෙළදාම හැදින්විය හැක. ලංකාවේ “දෘඩාංග ඉංජිනේරු” විද්‍යාව භාවිත වෙන්නේ නැත. ඒ සදහා අවශ්‍ය විද්‍යාගාර අප රට තුල ඇති වීමට තව ඉතාවිශාල කාලයක් බලා සිටිය යුතුව ඇත. නමුත් පල්ලේකැලේ රැම් පත් සාදන කම්හලක් ඇත. නමුත් එහි කිසිදු පර්යේශයක් වන්නේ නැත.

දැන් ලෝය යොමු වී ඇත්තේ “නෙට්වර්ක් කම්පියුටින්” නොහොත් ජාලගත පරිඝක යන සංකල්පයටය. ඒ අනුව ඩෙස්ක්ටොප් පරිඝණක භාවිතය මතුවට අඩුවනු ඇත. නමුත් ජාලගත පරිඝණක සදහා ඉතා හොද තත්වයේ සන්නිවේදන ක්‍රමවේද තිබිය යුතුය. නැතහොත් එය හරි හැටි භාවිත කල නොහැක. ලංකාවේ තොරතුරු තාක්ශණික ආයතනයක් ඇත. එයින් කුමක්වන්නේද කියා අපවත් දන්නේ නැත. සෑම රාජ්‍ය ආයතනයකටම වෙබ් අඩවි සෑදුවා කියා ලංකාව “අයි.ටි” වෙන්නේ නැත. ඒ සදහා ක්‍රමවත් දැනුම් බෙදා දීමේ වැඩපිලිවෙලක් අවැසිය.

ලංකාව කෘෂිකාර්මික රටකි. රතක් දියුනු කිරීමට නිෂ්පාදන ක්‍රියාවලිය නැංවිය යුතුය. නමුත් ලංකාව යන්නේ අනෙක් පසටය. පරිබෝජනවාදි වී නිශ්පාදනය නවතා ඇත. එයට ප්‍රධාන ලෙසම ආන්ඩුව වග කිවයුතු යැයි මා කියන්නේ රටකරවන්නේ ඔවු නිසාය. ඔවුන් පමණක් ගොඩ ‍යෑම හොද නෑය. අඩුම තරමේ ඔවුනට ඡ්න්දය දුන් කීප දෙනෙක් වත් ගොඩයා යුතුය. කෙසේ නමුත් අද ලංකාවේ තැනක් ඇත්තේ ඩොක්ටර්ස්ලාට්, ටීචර්ස්ලාට හා ලෝයර්ස්ලා වැනි වෘතිකයන්ටය. ඉංජිනේරුවන්ට තැනක් නැත්තේද නැත. ඇත්තේද නැත. ලංකාවේ විශිෂ්ටතම ඉංජිනේරුවා වන ගොවියාට තැනක් තියා ඉන්ඩ පැලක්වත් නැත.ඔහු පිටරට ගොස් “ගුවන්යානා ඇංජින්” නොගෙනා අතර වී බත් කර අපිට කැමට දෙන එක කරන ලදි.

කෙසේ හෝ අප රතක් ලෙස මේ තත්වය තේරුම ගත යුතුව ඇත. ඒ අනුව ලොයර්ස්ලාගෙන් පාර්ලිමෙන්තුව පිරවීම මදකට නතර කොට අනෙකුන් වෘතිකයන්ද පාර්ලිමෙන්තු ගොස් නිසි අවබෝධයක් ඇති අයට අදාල විශය පථයට ගැලපෙන අමාත්‍යංශය ලබා දීම කල යුතුය. කලා අයෙක් ඉංජිනේරු හා ඉදිකිරීම් අමාත්‍යංශය හෝ, වෛද්‍යවරයෙක් ස්වදේශ කටයුතු අමාත්‍යංශය හෝ ඉංජිනේරුවෙක් මුදල් අමාත්‍යංශය හෝ ලබා ගැනීම මහා අලකංචියකි.මේ තත්වය ආන්ඩුව වටහාගෙන අනාගත අර්බුද කවරේදැයි සොයා බලා වඩා යහපත් ක්‍රමවෙද ඔස්සේ රට කරවන්නේ නම් රටේ ආශ්චර්ය ඇතිවීම පහසුය්ව. එවිට ආසියාවේ නොව තුන් ලෝකෙම ආස්චර්ය ලංකාව යැයි කියා ලෝකි බෝඩ් ගැසුවාට කම් නැත.

-උමන්දා ජයෝබණ්ඩාර

Posted in කයිවාරු | ප්‍රතිචාර 2