මවුනි සදා වදින දෑත ඔබ කිරි කර පෙවු…

කුඩා කල සිටම හුදකලාව සිටීමේ මහ කැමැත්තක් මා තුල තිබුනි. එය මා හැදුන පරිසරයද නොයෙසේ නම් මාගේ පෙර සසර පුරුද්ද කියා මා දන්නේ නැත. ගමෙන් නගරයේ රැකියාවට පැමිනි මා තවමත් සොදුරු හුදකලාවේ ලැගුම් ගෙන සිටින්නේ එතුල ඇති නිදහස නිසා යැයි මා නොසිතමි. එය මාගේ විදිහයි. කුඩා කල මාගේ මිතුරන් වූයේ වැඩිහරියක්ම “සමනලයන්” “බත් කූරන්” හා “කුරුමිණියන්ය”. ලේනුන් කුරුල්ලන් වගේ උන් මා හට එම අවදියේ අල්ලා ගත නොහැකි නිසා ඔවුන් මහා ආඩම්බරකාර ඒජන්තය ලෙස සිතීමි. මොවුන් අතරිනුත් මා බොහෝ සේ ඇලුම් කලේ සමනලයන්ටය. වරක් මද්ධහනේ යක්කු ගස් යන වෙලාවේ සමනලයෙකු පසු පස ගොස් මගේ අම්මාගෙන් ගුටි කෑ හැටි මා හට හොද හැටි මතකය. එදා මාගේ වයස අවුරුදු 3ක් හෝ 4ක් පමන වන්ට ඇති. බාගි වැටුන් කලිසම් කොටයත් උඩට ඇදි කහ පැහැති මා සැමදා ආසා කල කමිසයත් බකල් දාපු සෙරෙප්පු දෙකත් ලා ගෙනා සමනලයා පසු පස මා බොහෝ දුර යන ලදි. මා මාගේ දැහැනින් බිදුනේ මවගේ ගෝරනාඩුව සමග එක පිට එක වැදුන ගුටි පාරවල් නිසාය. කකුල් දෙක හරහට පාර සිටින් පරිදි “බැබිල” කෝටුවකින් මා නොසැහෙන්ට ගුටි කන ලද අතර, මා යටිගිරියෙන් කෑ ගැසුවේ පහරවල් වල වේදනාවත් , අම්මාගේ කලබලය නිසා මා මෙතෙක් ඉතා ආදරයෙන් බලා සිටි සමනලයා ඈතට ඉගිලීයාමත් යන මගේ කයත්, සිතත් එකවර කම්පිත වූ සිදු වීම නිසා යැයි අද මට සිතේ.

මා මාගේ සාරෙට වැවී ගිය බොකුටු කොන්ඩය සහිත ඉස බැදගගෙන අඬන්නට විය. මා එකල ඇඬීමේදි හිස අත බැදගෙන ඇඬීමට හුරු වී සිටීමි. මාගේ දෙකොපුල් පුරා කඳුළු දිය සීරාවක් මෙන් ගලා යන්නට විය. කෝටු පාර වැදුන් දෙකකුල් වල වයිරපලු මතු වී එතැන් ඉදුනු කෝවක්කා ගෙඩි වගේ රතු විය. අම්මාගේ කෝපය ඇසිල්ලකින් නැති විය. වහාම දෝතට වඩා ගත් මා තුරුලු කර ගෙන ඇය ඉකිගසා අඬන්නට විය. ඇගේ ඇඬුම කෙතරම් ප්‍රභල වී ද යත් ඇය ඒ අසල තිබු වේලි කඳ මතට මා සමගම ලිස්සා ඇද වැටෙන ලදි. ඉන් තවත් බිය වු මා තව තවත් හයියෙන් අඬන්න්ට වූයේ, මා ඉස අත බැදගෙන් ඇඬු බව සිහිවීමෙන්ය. ඒ මොහොතේ මට සිතුනේ ඇය මිය ගිහින් යැයි යන සිතුවිල්ලය. ඉස අත බැදගෙන අඬන විට අම්මා මැරෙන බව අත්තම්මා මා හා නිතර පවසයි. අපේ ගෙදර හැමෝටම වඩා අත්තම්මා කියන දේ සියලු දෙනා අසන නිසාත් අන් හැම දෙනාටම වඩා අත්තම්මාට නුවණ ඇති නිසාත්, මා ද එය මහා ඉහලින් විශ්වාස කරන ලදි.අම්මා මා වඩා ගැනීම නිසා පය ලිස්සා ගොස් ඇත. මෙම කාලගෝටිය නිසා අවට සිටි ගමේ බොහෝ දෙනෙකු එතැනට රැස් වූයේ, මට හෝ මාගේ අම්මාට හෝ යම් කරදරයක් සිදු වී ඇති යන අනියත බියෙනි. නමුත් අම්මාගේ කරුනු පැහැදිලි කිරීමෙන් සියල්ල සංසිදුන බවක් දැනුන අතර මා හට ඇස් ඇරෙන්විට මා සිටියේ ඇද උඩය. යම් යම් සැරෙන් සැරෙන් වචන හුවමාරුවක් අප්පච්චී හා අම්මා අතර ඇසුනත්, තවමත් කකුලේ වේදනාව යහමින් දැනුන නිසා මා හට හිටිවනම යලිත් නින්ද යන ලදි.

කුඩා කල මාගේ පසු පසම සිටියේ මාගේ අම්මා වෙයි. අප්පච්චී එකල සේවය කලේ පදවියේ නිසා සෑම දාම නිවසට එන්නේ නැත.සතියකට වරක් ඔහුගේ පැමිණීම මහා බලාපොරොත්තුවෙන් මා බලා සිටින්නේ මා හට එකල සිටි එකම වීරයා ඔහු වන නිසාය. අම්මාගේ පාර්ශවයේ හා අප්පච්චීගේ පාර්ශවය ඔවුන් දෙදෙනාගේ විවාහය නිසා පොඩි පොඩි නොහද නෝක්කාඩුවක් එකල තිබී ඇත. එම නිසා අම්මාත් අප්පච්චීත් මම වෙනම් නිවසක ජීවත් වන ලදි. අප්පච්චි නොමැතිව තට්ට තනියම කපරාරු නොකරන ලද, රට උළු සෙවිලි කර ගොම ගා පිරියම් කරන ලද නිවසේ වෙසෙන්නට විය. එකල අපට විදුලි ආලෝකය තිබුනේද නැත. නිවසටම තිබුනේ එක චිමිනි ලාම්පුව හා මැහි තෙල් බෝතලයකින් අප්පච්චී විසින් සාදන ලද කුප්පි ලාම්පුවකුත් පමනි. අපේ අම්මාත් මාත් රාත්‍රි අඳුර නැති කර ගැනීමට භාවිතා කලේ කුප්පි ලාම්පුව පමනි. එකල අඟ හිග කම්ද එමටම තිබු නිසා මාගේ මව වඩ වඩා අරපිරිමැස්මෙන් යුතුව කටයුතු කරන ලදි. සවස හත පමන වන විට අප දෙදෙනා ආහාර ගෙන නින්දට සැරසීම පුරුද්දකි. එකල ඉර කලින් ගිලීම නිසාදෝ හත වන විට කට්ට කළුවර වෙයි.ඉහත කී සමනලයාගේ සිදුවීම වැනි විශේෂ සිදුවීමක් සිදු නොවී නම් මා නිදියන්නේ නැත. මා නිදි කරවිය යුතුයි.එහිදි අම්මා හෝ අප්පච්චී හෝ බිම වාඩි වී කකුල් දෙක මත කොට්ටයක් තබා ඒ මත මා තබා නැලවීම කරනු ලබයි. මා කිසි දිනෙක ලී වලින් වට කරන ලද සුව පහසු තොටිල්ලක් නැලවී නැත. මාගේ එකම තෝටිල්ල වූයේ මාගේ අම්මාගේ හෝ අප්පච්චීගේ කකුල දෙක පමණි.

අතට වෙරළු ඇහිද ගෙනේ
ඉනට පලා නෙලා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ

අතට වළලු කොහෙන් පුතේ
පයට වළලු කොහෙන් පුතේ
ඉඟට හවඩි කොහෙන් පුතේ
දැනට නිදා ගනින් පුතේ

මගේ මවගේ අනන්ත වු දරු පෙමින් ජනිත එම දරු නැළවිල්ලේ ආනුභාවයෙන් මා ක්ෂනිකව නින්දට වැටීම සිදුවෙයි. ඉන් පසු අපේ අම්මා නිදා ගන්නේ නැත. අඩක් නිම වු නිවසේ සෙවිලි කිරීමට රට උලු ගැනීමට මුදල් හිඟ බව දන්නා ඇය දහවල් වත්තෙන් අහුලා පහල ඇලේ දමා පොගවා ගත් පොල් අතු ටික විවීමට පටන් ගන්නා ලදි. ඇගේ සිනිදු ඇඟිලි පුපුරා ලේ යන තෙක් ඇය පොල් අතු වියන්නීය. ප්‍රමානවත් පරිදි පොල් අතු වියා ඇති මුත් ඉන් නොනැවති ඇය තව තවත් එම කාර්යයේ යෙදෙන්නේ අතිරික්තය විකුනා මුදල් ලබා ගත හැකි නිසාවෙනි.

ඇයට සිටි එකම සම්පත මා පමනි.මාද ඇය තනි කොට කිසි තැනෙක යන්නේද නැත. ඇය යන්නේ කොතැනද මාද ඇගේ අතේ එල්ලිගෙන යනු ලබයි. ඇවිදින්ට හැකි වූ දා පටන් මා කිසි දිනෙක වඩාගෙන යන්නැයි කියා බල කර නැත. වත්තේ බොහෝ ඇය සමග ඇවිද්ද පසු සෑදෙන කකුල් අමාරුවට මා කරේ කුක්කුටයෙන් වාඩි වී සිටිමයි. එහිදී ඇය විත් මා උකුලේ රුවාගෙන යයි. අඟ හිගකම් වලින් මිරිකී සිටියත්, එකල මාගේ දිවිය ඉතා සුන්දර ආදරණිය එකක් විය. ඒ අන් කවරක් නිසා හෝ නොව මාගේ අම්මාගේ හා පියාගේ මා කෙරේ වු අපරිමාන දරු ස්නේහය නිසාය.

ජීවිතයේ අන් කවරදාටවත් වඩා තනි වී හුදකලා දිවියක් ගෙනියන මාගේ අද දිවිය තුල මාගේ අම්මාගේ හා අප්පච්චීගේ ලෙන්ගතු බව මහා විශාල ලෙස දැනෙන්නේ , මා පුරුදු වු ක්‍රමයෙන් අද මා පිට පැන ඇති නිසා බව මට සිතේ.වරෙක් ඇනෙක්සියේ කාමර‍යට වී සිටෛන විට මා දහස්වර සියල්ල අතහැර ගමට ගොස් එම ආදරණීයයන් හා එක් වීමට සිතනු ලබයි. නමුත් මා දැන් ගැලවිය නොහැකි මහා දිය පාරකට අසු වූ වෙකු මෙන් නාගරීකරනයේ මහා ආදෝනාවේ සිරවී ඇත. මාගේ අම්මා අදටත් සිතනවා ඇත්තේ මා පෙරමෙන් ඇගේ ඇකයේ හොවා ගන්නා ආකාරයයි…සෑම දාම රාත්‍රියේ කණා මැදිරි එලි වෙනුවට වීදී පහන් දිහා බලා ගෙන මා ද ස්වප්නකින් හෝ ඇගේ උනුහුමට තුරුලු වීමට වෙර දරන්නේ, ජීවිතයේ මා සතු එකම සතුට මේ වනතුරුත් ඇ‍ය නිසා වෙනි.

මවුනි සදා වදින දෑත ඔබ කිරි කර පෙවු
කිරේ ණය ගෙවන්නට මා වැන්දත් නිරතුරු
ගුණ යහපත් කම් දන්නා අම්මේ ලොව්තුරු
බුදුබව ලද දිනයේ විත් මා සිත සනසනු….

අපේ පරපුරේ නාමය ගෙන යන්නට පැතු
පුතෙක් නැති අඩුව දැනුනත් අම්මේ පියකරු
සදා දෝත වැද ඉල්ලමි අම්මේ නිරතුරු
මගෙන් උනු අඩුව අම්මේ අමතක කරලනු….

දියණිවරුන්ගේ දරුවන් දුටු දවසේ නෙතු
සතුටු කඳුළු හෙලු බව මට මතකයි පිවිතුරු
මගෙන් පුතෙක් නොමැති අඩුව අමතක කර ලනු
අම්මේ මේ පුතා සැමදා ඔබ ලගමයි මතු….

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කථාන්දර, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )