බස නඟා දෙස හා රැස නැඟු මහා පඬිවරයා මුනිදාස කුමාරතුංග

“පෙරදිග මුතුඇටය” යන විරුදාවලියෙන් හැඳින්වෙන අප රටේ වසර 2500 කට අධික තොරතුරු සහිත දීර්ඝ ඉතිහාසය පුරා කීර්තිමත් ගිහි පැවිදි උතුමන්, රජවරුන්, ශ්‍රේෂ්ඨ ගණයේ උගතුන්, පඬිවරුන්, අතිදක්‌ෂ කලාකරුවන්, වීරෝදාර රණවිරුවන් ආදීන්ගෙන් අඩුවක්‌ නොවීය. දේශය සුරකින මහ සයුරවන් වැව් අමුණු බැඳ සහලින්, බත, බුලතින් සරුසාරකොට දසත ජය කෙහෙළි නංවා විදෙස්‌හි ද තම කීර්තිය පතුරුවා රට බැබැළවූවෝ අප රටේ එමට සිටියහ. විශේෂයෙන් බුදු දහමින් ආලෝක වූ මෙරට, මහින්දාගමනයෙන් ඇතිවූ පුනරුදයෙන් ලත් භාෂාව, ඉන් උපන් හෙළ බස, සිංහල, පාලි, සංස්‌කෘත ආදි සාහිත්‍යය, විවිධ කලා ශිල්ප හා ඒවා පරිග්‍රහණය, පර්වේදනය හා පරිකථනය කළ නිමැවුම්කරුවෝ බොහෝ විය. ඔවුනතර මෑත ඉතිහාසයේ අපරරට විසූ මහත් වියතෙකි. මුණිදාස කුමාරතුංග මහ පඬිරුවන වසර 1887 දීයි මාතර දික්‌වැල්ලේ උපත ලද මේ මහා ශාස්‌ත්‍රඥයා දික්‌වැල්ලේ බෞද්ධ මිශ්‍ර පාසලින්, මාතර ශාන්ත තෝමස්‌ විදුහලින් ද දික්‌වැල්ලේ වැවුරුකන්නල පිරිවෙනින් ද මූලික අධ්‍යාපනය ලබා කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ගුරු පුහුණුව ලබාගති. ඉන්පසුව ගුරුවරයකු වශයෙන් සිය සේවය අරඹා නැවත විදුහල්පතිවරයකු, පාඨශාලා පරීක්‍ෂකවරයකු මෙන්ම ගුරු අභ්‍යාස විද්‍යාලයක විදුහල්පතිවරයකු වශයෙන් ද විශිෂ්ට සේවයක්‌ කළේය.

මුණිදාස කුමාරතුංග පඬිවරයා ශ්‍රේෂ්ඨ බස්‌ වඩුවෙකි. අපට උරුම වූ හෙළ බස එසමය වනවිට වැටී තිබූ ප්‍රපාතයෙන් ගොඩගෙන එය උසස්‌, පොහොසත්, හරවත්, වියත් බසක්‌ කරන්නට ඔහු අපමණ වෙහෙසක්‌ දැරීය. ඒවනවිට මෙරට පැවැති නිදහස සඳහා වූ අනවරන සටනට බසින් පණ දෙන්නටත්, දිනන රටකට උසස්‌ බසක්‌ උරුම කරන්නටත් හේ නිරතුරු වහෙස දැරීය. මෙරට එවකට දියුණු වෙමින් ආ විද්‍යාමය විෂයන්හි අධ්‍යාපනය ද, දේශපාලනය, පරිපාලනය හා නීතිය වැනි ක්‌ෂේත්‍රයන්හි කටයුතු සඳහා ද උසස්‌ බසක අවශ්‍යතාවය දැඩි වූ හෙයින් ඔහු සිය පරිකල්පන නුවණ මෙහෙවා එමගින් පොහොසත් හෙළ බසක්‌ අපට දායාද කළේය. අන් භාෂාවන්ගෙන් මිශ්‍රිත වූ කිළිටි වූ වදන් ඉවතලා පිරිසිදු හෙළ බසක්‌ ජනනය කිරීමට ඔහු 1941 වසරේදී “හෙළ හවුල” පිහිටුවන ලදී. අදත් මෙරට විශේෂයෙන් හෙළබසට ඉමහත් මෙහෙයක්‌ කරමින් අපට අනන්‍යවූ අපේ මවුබස පොහොසත් කරන, සුරකින භාෂාප්‍රේමීන් රැසක්‌ ඉන් බිහිව ඇත. ඉදිරියටද බිහිවනු ඇත.

කුමාරතුංග පඬිවරයා අතිදක්‌ෂ සාහිත්‍යධරයෙකි. ඔහු අතින් පූජාවලිය, සද්ධර්මරත්නාකරය, එළු අත්තනගළු වංශය, සැළලිහිණි සංදේශය, බුදුගුණ අලංකාරය ආදී පැරණි මාහැඟි ග්‍රන්ථ රැසක්‌ සංස්‌කරණ විවරණ රස වින්දන ග්‍රන්ථ රැසක්‌ ලියෑවිණි. එදා ව්‍යවහාරයේ පැවැති හෙළ බසේ වැරැදි නිවැරැදි කරනු වස්‌ ඔහු ඒ සඳහා විවිධ උපක්‍රම භාවිතා කළේය. ජයමග වෙල්ලාල, රැපියෙල් තෙන්නකෝන්, අමරසිරි ගුණවඩු ආදී දේශ භාෂා ප්‍රේමීන් සමඟ එක්‌ව “හෙළ හවුල” තුළින් හෙළබසේ වර්ධනයට නිවැරදි වදන් හඳුන්වා දුනනේය. විශේෂයෙන් හෙළ වියරණය කෙරෙහි සමකාලීනයන් හා එක්‌ව ඔහු ගත් ප්‍රයත්නය සිය දිගු කලක්‌ පැවැති විදේශ පාලනයන් නිසා පිරිහී පැවැති සිය බස යළිත් ඔහු විසින් නිවැරදි කෙරිණි.

ළමා මනස බසින් මෙන්ම රසින්ද සංවර්ධනශීලී නව සිතුවිලිවලින් ද පොහොසත් කරන්නට ඔහු අනඟි ළමා පොත් රැසක්‌ ලියා පළ කළේය. කුමර ගී, හත්පණ, මඟුල් කෑම, හීන් සැරය, ශික්‌ෂා මාර්ගය, කියවන නුවණ ඒවා අතර ප්‍රමුඛය. පසුව මෙම පොත් පාසල් පොත් ලෙස භාවිතයට ගත් හෙයින් උසස්‌ වින්දන ශක්‌තියක්‌ නිර්මාණශීලිත්වයක්‌ මෙන්ම හැදියාවක්‌ ඇති ජනතාවක්‌ මෙරට බිහි කිරීමට එම පොත් සමත් විය. අපමණ වූ මෙවැනි තවත් ග්‍රන්ථ රැසක්‌ ඔහු සිය ජීවිත කාලය තුළ දී දරුවන් සඳහාම ලියා පළ කළේය.

ගද්‍ය මෙන්ම පද්‍ය කෙරෙහි ද විශේෂ ඇල්මක්‌ හා දක්‌ෂතාවයක්‌ කුමාරතුගු වියතුන් කෙරෙහි දිස්‌විය. ඔහු පද්‍යකරණය දිරිගන්වනු වස්‌ පොත් රැසක්‌ ලිවීය. විරිත් වැකිය, පියසමර නව ග්‍රන්ථ සේම, කවි සිළුමිණ, ලෝකෝපකාරය, මයුර සන්දේශය, ගිරා සංදේශය, ගංගාරෝහණ වර්ණනාව, කුස ජාතකය, ගුත්තිල කාව්‍යය, බුදුගුණ අලංකාරය වැනි අගනා පැරණි පද්‍ය කෘති රැසක්‌ද සංස්‌කරණය හා විවරණය කරමින් හෙළ පැදිය කා අතරත් ජනප්‍රිය කළේය. දක්‌ෂ කථිකයකු වූ ද වූ කුමාරතුංග සිය නිවැරැදි අරමුණු ඉටුකර ගැනීමට සිය කථිකත්වය ද ඉඳුරාම ඉවහල් කරගත්තේය.

කුමාරතුංග මුණිදාස නම්වූ ඒ ශ්‍රේෂ්ඨ පඬිවරයා ඉතා ආදරයෙන් ගෞරවයෙන් අපි සදා සමරමු. ඒ සැමරීම සම්පූර්ණවන්නේ ඔහු සිය බස එනම් හෙළ බස, හෙළරැස හා හෙළ දැය දියුණු කිරීමට ගත් අප්‍රතිහත ධෛර්යය අපිත් අප සිත් තුලට ගෙන එම ක්‍රියාමාර්ග අනුගමනය කරමිනි. මේ සඳහා අපි නිවැරදි හෙළ බස හදාරමින්, නිවැරදිව එය වහරමින්, නිවැරදිව එය ලියන්නට හුරුවෙමු. එමගින් යහ සිතුවිලි ජනිත කරගෙන ඒවා පුරුදු පුහුණු කරමු. වැඩිදියණු කරමු. හැකිතාක්‌ ලියමු, කියමු, දෙමළ, ඉංග්‍රීසි ආදී අන් භාෂා ද හැකිතාක්‌ උගනිමු. ඒවායේ ද දියුණුවට සහාය දෙමු. ඒවා ද භාවිතයට ගනිමු. සාහිත්‍යයද පොහොසත් කරමු. උසස්‌ රස වින්දනයට උත්සාහ ගනිමු. ඒ තූළින් සමාජයේ දුර්වල තැන් පිටු දැක ගුණවත් නැණවත් දැයක්‌ බිහිකරමු. ජනාධිපතිතුමා “මහින්ද චින්තන” ප්‍රතිපත්ති ප්‍රකාශයන්හි සඳහන් කරන “පොත පත කියන උගත් ප්‍රඥාවන්ත සමාජයක්‌”, “ගුණවත් පුරවැසියෙක්‌”, ” සෙනෙහස පිරි පවුලක්‌” හා “නිවහල් සමාජයක්‌” වැනි මා හැඟි අපේක්‌ෂා සාක්‌ෂාත් කිරීමට කුමාරතුංග මුණිදාස පඬිවරයාගේ සේවාව ද ගමන් මඟ ද උපයෝගි කර ගනිමු.

විමල් රූබසිංහ
ලේකම්, සංස්‌කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කාලීන, සිත්ගත් චරිත. Bookmark the permalink.

බස නඟා දෙස හා රැස නැඟු මහා පඬිවරයා මුනිදාස කුමාරතුංග සදහා ප්‍රතිචාර 3ක් දක්වා ඇත

  1. thilan පවසයි:

    කුමාරතුංගයන් ගැන කියනකොටම මට මතකයට එන්නෙ එතුමා ලියපු මෙන්න මේ පදිපෙල
    මේක ලොකුවට රාමු කරලා එල්ලා තියෙන්නෙ ශාන්ත තොමසයේ විදුහල පති තුමාගෙ කාර්යාලය ඉදිරිපිට බිත්තියෙ.
    රට අතුරි හෙලදිව වැන්නක්
    එහි නුවර අතුරින් මාතර වැන්නක්
    පාසල් අතුරින් ශාන්ත‍තෝමසය වැන්නක්
    කවුරුන් ලබත්ද

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )