සොයිලියස් මැන්දිස්

වලිමුණි සෝයිලියස් මැන්දිස් සිත්තරා 1896 ජූනි 17 වන දින හලාවත මාදම්පේ මහවැව දී උපත ලැබී ය. මැන්දිස් මහතා සහෝදර සහෝදරයින් අට දෙනකුගෙන් යුතු පවුලක දෙවැන්නා විය.

මාදම්පේ ක්‍රිස්තියානි පාසලෙන් අධ්‍යාපනයට අත්පොත් තැබූ මේ අපූර්ව සිත්තරා ඉක්බිති ව නාත්තන්ඩියේ වීරහේනේ විද්‍යාරත්න පිරිවෙනට ඇතුළත් වී කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමියන් යටතේ පාලි, සංස්කෘත හා පෙරදිග භාෂා ඉගැනීම ආරම්භ කළේය. මේ කාලයේදී සෝයිලියස් මැන්දිස් මාවිල පන්සලේ චිත්‍ර අඳිමින් සිටි ශිල්පීන් අතරට ගොස් පින්සල අතට ගත්තේ ය. මෙසේ ශිල්ප කරගෙන යන සෝයිලියස් දෙස බැලූ නායක හාමුදුරුවෝ වරෙක,

”ඔහොම ශිල්පයක් හුරුකර ගැනීම හොඳයි” ඒ වුණාට ඉගෙනීම අවසන් කරගෙන ඔය කටයුතු වලට බැසීම නුවණට හුරුයි” යැයි කීවේ ය.

1912 කාලයේ ගැටවරයකු වූ සෝයිලියස් පළමුව දෙමාපියන්ගේ කැමැත්ත මැද වෙදකම ඉගෙනීමට යොමු වුවත් එයට හාත්පසින් ම වෙනස් මඟක් ගත් මොහු තෙලිතුඩටත් මූර්ති ශිල්පයටත් පෙම් බැඳීය. තෙලිතුඩෙන් ඇඳෙන චිත්‍රවලටත් මැටියෙන් ඇඹෙන මූර්ති වලටත් පෙම් බැඳි සෝයිලියස් මැන්දිස් මහතා තමාගේ නෛසර්ගික හැකියාවන් ඔපමට්ටම් කරගත්තේ ස්වොත්සාහයෙනි.

හිරිමල් තරුණ වියේදී ම අනගාරික ජීවිතයක් ගත කළ සෝයිලියස් මැන්දිස් සිත්තරා කැලණි විහාරයේ චිත්‍ර ඇඳීමට පෙර විහාර කිහිපයකට ම තම දායකත්වය ලබාදුන්නේ ය. ඒ අතර ගිරිඋල්ල මැද්දේපොල විහාරය, මල්වානේ ලෙනගම්පොල පුරාණ විහාරය, පොලොන්නරුවේ ජය ශ්‍රී විහාරය, අම්පාරේ ජයමංගල විහාරය, නාත්තන්ඩියේ මා විල සුමන කුසුමාරාමය, හබරාදුව පිටිදූවේ කැලණියන්ගොඩ විහාරය, රණස්ගල්ල යන විහාර මේ සිත්තරාගේ තෙලිතුඩින් හැඩ විය.

කැලණියට ඒමට පෙර ඔහුගේ චිත්‍ර හා මූර්ති කලාවේ ශෛලීන් වෙනස් මඟක් ගත් වග ගිරිඋල්ල මැද්දෙපොල විහාරයේ සිතුවම් දෙස බැලීමේදී අපට පෙනී යයි. 1922 දී පමණ මැද්දේපොල විහාරයේ චිත්‍ර හා මූර්ති නිමැවී ඇති වග ඔහුගේ අත්සන යොදා ඇති තැනකින් පසක් කර ගත හැකි ය. සෝයිලියස් ශිල්පියාගේ චිත්‍රවල හා මූර්තිවල අනන්‍යතාවය වඩාත් ඉස්මතු වී පෙනෙන්නේ ගිරිඋල්ල මැද්දේපොල නිර්මාණයන් අතරින් ය.

පසු ව කැලණියට අවතීර්ණ වීම ඔහුගේ කලා ජීවිතයේ එක්තරා සන්ධිස්ථානයක් විය. යුරෝපීය කලා ලක්ෂණ හා සමාජ රටාවක් පැළපදියම් වූ වකවානුවක ඔහු මේ භාරදූර කාර්යයට අත තැබුවේ ය. කැලණියට පා තැබීමත් සමඟ කැලණි විහාරය නගාසිටුවීමේ මහඟු කාර්යයට අත් පොත් තැබූ සේදවත්ත ළමාතැනී හා මහා සත්පුරුෂයකු වූ ඩී.ආර්.විජේවර්ධන මහතා ද මේ චිත්‍රශිල්පියාට හඳුනාගැනීමට ලැබිණි.

පසුව විහාර චිත්‍ර කලාවට ප්‍රකට ව සිටි සෝයිලියස් ඒ දානපතින්ගේ පරිත්‍යාගයෙන් ඉන්දියාවට යවනු ලැබිණි. අජන්තා හා එල්ලෝරා බිතුසිතුවම් ගැන දෑස්වලින් මනා අධ්‍යයනයක් ලබාගැනීමට ඔහුට පුළුවන් විය. ඉන්දියාවට යන ගමනේදී සෝයිලියස් අඩුතරමේ පැන්සලක් වත් කොළ කැබැල්ලක් වත් ගෙන නොගියේ මොහුගේ හැකියාවේ තිබූ දැඩි ආත්මශක්තිය නිසා විය හැකිය.

පසුකාලීන ව ලංකාවේදී සහ ඉන්දියාවේදී ප්‍රකට චිත්‍රශිල්පියෙකු වන නන්දලාල් බෝස් මහතා සමඟ සම්බන්ධවීමෙන් මේ කරන කාර්යය ගැන තොරතුරු සෝයිලියස් මැන්දිස් මහතා සාකච්ඡා කරගෙන ඇත. ඒ නිසා ම නන්දලාල් බෝස් ද වරෙක කැලණි විහාරයට පැමිණ මැන්දිස් මහතාගේ චිත්‍රයක් දැක මහත් සතුටට පත් ව මේ භාරදූර කාර්යය බාරදිය යුතු නියම ශිල්පියා සෝයිලියස් මැන්දිස් මහතා බව ප්‍රකාශ කර ඇත.

ලංකාව යුරෝපීයයන්ට යටත්වීම, කැලණි වෙහෙර පිළිබඳ ඉතිහාසය, ලංකාවට ජය ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩම කිරීම, විහාර මහා දේවියගේ කථා වස්තුව, දන්ත කුමරු හා හේමමාලා කුමරි ලක්දිවට වැඩම කරවීම, චූලෝදර මහෝදර යුද්ධය වැනි සිතුවම් ඉතා අපූර්ව ආකාරයට ඇඳීමට සෝයිලියස් මැන්දිස් මහතා අපමණ වෙහෙසදරා ඇත.

වර්ණ යොදා ගැනීමේදී දේශීය අමුද්‍රව්‍ය යොදා මේ වර්ණ සාදාගැනීමට ඔහු නොපසුබට වී ඇත.

මේ චිත්‍ර ඇඳගෙන යාමේදී කැලණි විහාරයේ ඔත් පිළිමයට පිටුපසින් ඇති හිමකඳු ඇඳීමට විජාතික චිත්‍ර ශිල්පියකු ගෙන්වීම සෝයිලියස් මැන්දිස් මහතාට කළ විශාල අසාධාරණයකි. කෙසේ වෙතත් මේ විජාතික චිත්‍ර ශිල්පියා සෝයිලියස් මහතාගේ ඇතැම් චිත්‍ර වෙනස් කිරීමටත්, මැකීමටත් අවශ්‍ය යැයි කියූ විට එයට එකහෙලාම මෙන්දිස් මහතා විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.

මෙයින් පසුව මෙන්දිස් මහතාගේ සිත බෙහෙවින් කළකිරීමට පත්විය. කැලණි පෙරහරට එක්කරන කොඩි, සැරසිලි, ඇඳුම් නිර්මාණ නිම කළේ ද මේ අපූර්ව සිත්තරායි.

තවත් විටෙක 1948 පෙබරවාරි 04 වනදා පළමුවරට ලංකාවට නිදහස ලැබූ අවස්ථාවේ නිදහස් මන්දිරය අසළ ඉදිවූ නිදහස් මණ්ඩපයත්, කොළඹ ක්‍රමය ප්‍රදර්ශනයේදී ඉදිකළ ලංකා මන්දිරයත් නිර්මාණය කළේ මේ අපූර්ව සිත්තරා විසිනි. තවත් විටෙක මේ අපූර්ව සිත්තරා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ජේ.ආර්.ජයවර්ධනයන් ගේ මඟුල් පෝරුව ද නිර්මාණය කර ඇත.

1936 සිට 1948 කාලයේ කැලණියට අප්‍රමාණ ශ්‍රමයක් පරිත්‍යාග කළත් අවසානයේ ඔහුට ඉතිරි වූයේ අපමණ අසාධාරණකම් මත ඇතිවූ කළකිරීමකි.

අනගාරික ජීවිතයක් ගත කළ සෝයිලියස් සිත්තරා පසුව තමාට තිබූ දේපළ හා ධනය ප්‍රයෝජනයට ගෙන ආබාධිත දරුවන් වෙනුවෙන් 1958 ජූනි 21 වන දින සිවිරාජ් අනාථ නිවාසය කර රජයට පරිත්‍යාග කළේ ය.

එමෙන් ම මැන්දිස් මහතාගේ කලා ජීවිතය නිසි පරිදි ඇගැයුවා නම් ඇගැයූයේ ලංකාදීප පුවත්පත මඟින් ය. එවකට ඒ පුවත්පත මඟින් සෝයිලියස් මැන්දිස් මහතා ‘කලාකීර්ති’ යන නාමයෙන් හඳුන්වනු ලැබී ය.

පසුව මේ අපූර්ව සිත්තරා 1975 සැප්තැම්බර් 01 දින අප අතරින් සදහට ම වෙන්වී ගියේ ඔහුගේ අනගි කලා නිර්මාණ අප අතරේ රඳවමිනි.

ව/ගිරි/අල මහරච්චිමුල්ල කන්දේගෙදර මහ විදුහලේ
චිත්‍ර උපදේශක
ඇම්.ඒ.චන්දන රණවීර

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කාලීන, සිත්ගත් චරිත. Bookmark the permalink.

එක් අයෙකු සොයිලියස් මැන්දිස් සදහා ප්‍රතිචාර දක්වා ඇත

  1. අඛිල ජයලත් පවසයි:

    අගයමි නොකියමි. ඇය ඒ ? ලෙනාඩෝ ඩාවින්සි, මයිකල් ආන්ජිලෝ, රපායල්, පැබිලෝ පිකාසෝ, හෙළ බිමේ හෙල මනසට යන්තමින් දැනුනත්., මතුව එන සිත්තම කෙතරම් විශාලද., විදේශිකයින් විසින් කැළනි සිතුවම් කොතෙක් වර්ණනා කරනුයේ ද? එහෙත් කැළනි සිත්තරා ගැන කථාකරණුයේ කීයෙන් කීදෙනාද ? සමහරවිට එතුමාගේ නිහඩ නිර්මාන දිවිය වෙන්න ඇති. කැළනි සිත්තරා ගැන වත්මනට දායාද කල මෙම හැදින්වීම අනාගත සමාජය වෙනුවෙන් ඉටුකල යහපත් සමාජ සත්කාරයකි. වටිනාකම මිනිය නොහැක.

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )