දුගී පැල්පතින් ධවල මන්දිරයට ගිය ඒබ‍්‍රහම් ලින්කන්

1809 පෙබරවාරි 12 වැනි දා ඇමරිකාවේ කෙන්ටකි ප‍්‍රාන්තයේ හෙජන්විල් අසල ගොවිපළකදී ඇමරිකානු එක්සත් ජනපදයේ සදා නොමියෙන නමක් ඇති කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු උපත ලැබුවා. දරිද්‍රතාවයෙන් පීඩිත වූ මේ කුඩා නිවසේ උපන් කොලු පැංචා දිනෙක ඇමරිකාවේ ජනාධිපති වේ යැයි කවුරුත් නම් හීනෙකින්වත් සිතුවේ නැහැ. මේ කොලු පැංචාගේ නම වූයේ එබ‍්‍රහම් ලින්කන්ය. ඔහුගේ පියා තෝමස් ලින්කන් වූ අතර හෙතෙම වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්. එහෙත් ඔහුගේ පි‍්‍රයතම රැකියාව වුණේ දඩයමයි.

ළමා වියසාරවත් පසක් ඇති ප‍්‍රදේශ සොයමින් නිතර නිතර පදිංචි වූ ස්ථාන වෙනස් කළ වඩුවකු වූ තෝමස් ලින්කන් 1816 දී නැවතත් පදිංචිය වෙනස් කළා. එවර ඔවුන් පදිංචියට තෝරා ගත්තේ ඉන්දියානා ප‍්‍රදේශයේ පිජන් කි‍්‍රක් පෙදෙසයි.මේ වන විට ඔවුන්ට දියණියක් ද ඉපිද සිටි අතර වගුරු බිම් සහිත වූ මෙම ප‍්‍රදේශය ජීවත් වීමට නම් කිසිසේත්ම යෝග්‍ය වුණේ නැහැ. මෙම ප‍්‍රදේශයේ දරුණු ලෙසින් මැලේරියාව පැතිර යමින් තිබුණු අතර ඊට ගොදුරු වුණු ඒබ‍්‍රහම් ලින්කන්ගේ මව මරණයට පත් වුණා.බිරිඳගේ මරණින් වසරකට පසු තෝමස් ලින්කන් තවත් විවාහයක් කර ගත්තේ විශේෂයෙන්ම දරුවන් දෙදෙනාට මව් කෙනෙකුගේ රැකවරණය අවශ්‍ය බව හැඟී ගිය නිසා ය. සේරා ජෝන්සන් නම් වූ මේ කුඩම්මා ඉතා කරුණාවන්ත කෙනෙක් වුණා. ගව මඩුවක් මෙන් අපිළිවෙළට අපිරිසිදුවට තිබූ නිවස පිළිවෙළකට සකසන්නට සේරා සමත් වුණා. ඉන් අනතුරුව ඇය දරුවන්ට අකුරු ශාස්ත‍්‍රය ඉගැන්වීමට කටයුතු කළා.මේ සඳහා සේරාට දැඩි පරිශ‍්‍රමයක් යොදන්නට සිද්ධ වුණේ අකුරු ශාස්ත‍්‍රය ඉගෙනීම කෙරේ තෝමස් ලින්කන්ගේ එතරම් අවධානයක් නොතිබූ හෙයිනි. දරුවන්ගේ හිත් දිනා ගනිමින් ඔවුන්ට දැඩි සේ ආදරය කළ සේරා කුඩම්මාට ඒබ‍්‍රහම් ද දැඩිව ආදරය කළා. ඔහු කුඩම්මාට ආමන්ත‍්‍රණය කළේ මව කියා නොව ‘දේව මාතාව’ කියායි.

ඒබ‍්‍රහම් ඉගෙනීමට දැක්වූයේ ඉමහත් උද්‍යෝගයක්. ඔහු පාසලේ ගත කළ කාලය ඉතාමත්ම කෙටි වුණත් නිවසේ සිට අධ්‍යාපනයේ යෙදෙන්නටයි උත්සාහ කළේ. කඩදාසි සුලබ නොවුණ ඒ යුගයේ ඒවා අලෙවි වූයේ ඉතා ඉහළ මිලකටයි. මේ නිසා ලින්කන් ලිව්වේ ලෑල්ලක අඟුරුවලින්. සමහර අවස්ථාවල නිවසේ බිත්තිවල පළන ලද ලීවල සමතල පෘෂ්ඨයෙහි ගණන් සෑදීම කළා. මේවා අකුරු සහ ඉලක්කම් වලින් පිරීගිය කල්හි ඒ මතුපිට පිහියකින් සූරා දමා අලුත් මතුපිටක් සකසා ගැණුනා. ගණිතයට අවශ්‍ය පොතක් මිලදී ගන්නට තරම් වත් වත්කමක් නොතිබුණු නිසා හෙතෙම පොතක් ණයට ඉල්ලාගෙන එය ලිපි ශීර්ෂ කඩදාසි වල පිටපත් කර ගත්තා. පසුව එම කඩදාසි නූලකින් මසා පොතක් සාදා ගත්තා.ඉගෙනීම කෙරේ දැඩි අවධානයකින් සිටි නිසාම කෙතරම් ආර්ථික අපහසුතා පැන නැඟුණත් ඉන් අධෛර්්‍යයට පත් නොවී දිගමට තමාට හැකි ආකාරයෙන් අධ්‍යාපනය ලබා ගන්නටයි ලින්කන් වෙර දැරුවේ.එහෙත් ලින්කන්ට නොකඩවාම පාසල් යන්නට ලැබුණේ නැහැ. අග හිගතා ක‍්‍රමයෙන් වැඩිවත්ම පාසල් ජීවිතයට ආයුබෝවන් කියන්නටයි ඔහුට සිද්ධ වුණේ. එහෙත් කියැවීමේ පුරුද්ද අත්හැරියේ නම් නැහැ. පොත් කියවීම නිසා ඔහු ඉදිරියේ නව මායාකාරී ලෝකයක් විවෘත වුණා.කිසි දිනෙක මෙවන් ලොවක් දැක නොතිබූ ලින්කන් මේ නිසා වෙනස්ම මිනිසෙකු බවට පත්වුණා. මේ නිසා ඔහුගේ සීමා මායිම් පුළුල් වුණු අතර නව දෘෂ්ටියකින් ලෝකය දෙස බලන්නට ඔහු ඉගෙන ගත්තේ මේ පොත පතෙන් ලද දැනුමෙනි. පොත් කියවීම කෙරේ ලින්කන්ගේ තිබුණු නැඹුරුව දුටු ඔහුගේ කුඩම්මා ලින්කන්ට පොත් පහකින් යුත් කුඩා පුස්තකාලයක් මිලදී ගෙන දුන්නා. බයිබලය, ඊසොප්ගේ උපමා කතා, රොබින්සන් කෲසෝ, වන්දනා ගමනේ ප‍්‍රගතිය සහ සින්බෑඩ් නැමති නැවියා යන පොත් පහයි ඊට අන්තර්ගත වුණේ.පහසුවෙන් කියැවිය හැකි වූ ඊසොප්ගේ උපමා කතා සහ බයිබලය, ඔහුගේ පුරුදු, කතා කිරීමේ පුරුදු, සංවාද විවාද ඉදිරිපත් කිරීමේ ක‍්‍රම කෙරෙහි දැඩි ලෙස බලපෑම් එල්ල කරන්නට සමත් වුණා.

වැඩි වැඩියෙන් පොත් කියවන්නට නැඹුරු වූවද පොත් මිලදී ගන්නට තරම් වත්කමක් ලින්කන් සතුව තිබුණේ නැහැ. ඒ නිසා ඔහු පුවත්පත්, පොත්, මුද්‍රිත ඕනෑම දෙයක් ණයට ගෙන කියවන්නට පුරුදු වුණා. ඔහියෝ නදියේ පහළට ගමන් කළ හෙතෙම ‘ඉන්දියානාවේ සංශෝධිත නීති’ පිළිබඳ පොතක් නීතිඥයෙකුගෙන් ණයට ඉල්ලාගෙන කියෙව්වා. එක්සත් ජනපදයේ නිදහස සහ ව්‍යවස්ථාව ඔහුට ප‍්‍රථම වරට කියන්නට ලැබුණේ එමගිනි. ඉඩම් හිමි අසල්වැසි ග ොවියෙකුගෙන්, චරිතාපදාන දෙක තුනක් ණයට ඉල්ලා ගත් ලින්කන් රැයක් දවාලක් නැතිව ඒවා කියන්නට වුණා. ඒ අතරින් ඔහුගේ හිත ගිය චරිතාපදනය වූයේ වොෂිටන්ගේ කතාන්තරයයි. ඔහු වැඩ කරන්නට යන සෑම තැනකටම මෙම පොත් රැගෙන ගොස් ලැබෙන සෑම විවේකයදීම ඒවා කියවන්නට වුණා. හාස්‍ය රසය උත්පාදනය කරමින් දක්‍ෂ ලෙස වචන හැසිරවීමට මොහු අති දක්‍ෂයකු වූයේ තමා කියැ වූ පොත පතෙන් ලැබුණු ආභාෂයට පිං සිදුවන්නටයි.

දේශපාලනයට පිවිසීම1828 දී ඕෆට් නම් වූ ගොවියකු සමග ‘නිව් ඔර්ලයන්ස්’ නගරයට එළවළු, පලතුරු ආදිය ගෙන යන පාරු කරුවකු ලෙසින් ලින්කන් සේවයට එක් වුණා. මෙම ගමනේ දී ඔහුට ප‍්‍රථම වරට කළු ජාතික නීග්‍රෝ වහලුන්ගේ දුක්ඛිත තත්ත්වය දැක ගන්නට ලැබුණු අතර ඊට එරෙහිව යම් පියවරක් ගත යුතු බව ලින්කන්ගේ සිතෙහි හටගත්තේ එදිනයි.ටික කලකින් නිව් සේලම් හි ඕෆට්ගේ ගබඩාවක කළමණාකාර ධූරයක් ලින්කන්ට හිමි වූ අතර එහිදී ද මුල් තැන දුන්නේ පොත් පත් කියැවීමටයි. ක‍්‍රමයෙන් ප‍්‍රදේශයේ උගතා බවට පත් වූයේ ලින්කන්ය. නිතරම දේශපාලන වාද විවාද වලට පැටලුණු ලින්කන්ට දේශපාලනයට නැඹුරු වීමට අත හිත දෙන ලද්දේ ජේම්ස් රට්ලේජ් නමැත්තෙකු විසිනි. මේ අතරතුරේ දී ඕෆට්ගේ ව්‍යාපාරය බංකොලොත් වී ගියා. ලින්කන් තවත් මිතුරකුත් සමඟ එක් වී වෙළෙඳාමක් ආරම්භ කළා. එහෙත් ව්‍යාපාර කටයුතු වලට වඩා පොත පතට ඇලී ගැලී සිටීම නිසා එයද පිරිහී යන්නට වැඩි කලක් ගත් වූයේ නැහැ.මීළඟට ලින්කන්ගේ රැකියාව වූයේ ලියුම් බෙදීමයි. නිව් සේලම් හි තැපැල් ස්ථානාධිපති ලෙසින්ද කටයුතු කළේ ඔහුයි. සිය හිස් වැස්ම තුළ ලිපි රඳවා ගෙන ගෙන් ගෙට ගොස් ලිපි බෙදීම ඔහුගේ සිත් ගත්තා.ති‍්‍රකෝණමිතියත්, ලඝු ගණකයත් හදාරා මිනින්දෝරුවකු වන්නටයි ඔහුගේ ඊළඟ අභිප‍්‍රාය වූයේ හෙතෙම උප මිනින්දෝරුවෙකු ලෙසින්ද කටයුතු කළා. ලින්කන් කියවූ පොත් පත් වලින් වැඩි හරියක්ම වූයේ නීති පොත් ය. මේ නිසා නීතිය හදාරා නීතීඥයකු වීමේ අදහසත් ඔහු සිත තුළ හට ගත්තා. ඒ අනුව ඔහු නීතිය හදාරන්නට වුණා. නීතිඥවරයකු බවට පත් වුණු ලින්කන් මේරි ටොඩ් නමැති කාන්තාවක හා විවාහ වුණා.1847 දී කොංග‍්‍රස් අසුනක් ලබා ගැනීමේ අදහසින් ලින්කන් වොෂිංටනය බලා ගියා.1847 සිට 1849 දක්වා කාලය ඔහු වැය කළේ වහල් සේවකයක් නිදහස් කර ගැනීම වෙනුවෙනි. එහෙත් එය සාර්ථක කර ගන්නට ඔහුට පුළුවන් වුණේ නැහැ.

සෙනෙට් සභා අසුනකට තරග කළ ලින්කන්ට හිමි වූයේ පරාජයයි. වසරක් ඇතුළත රිපබ්ලිකන් පක්‍ෂය සංවිධානය කරගන්නට ලින්කන්ට පුළුවන් වුණා. 1860 මැයි මාසයේ දී රිපබ්ලිකන් පක්‍ෂයේ ජාතික සම්මේලනයේ දී ඒබ‍්‍රහම් ලින්කන් ජනාධිපතිධූර අපේක්‍ෂකයා ලෙස තෝරා ගන්නට තීරණය වුණා. එම ඡන්දයෙන් ජයගත් ලින්කන් ඇමරිකාවේ ජනාධිපති ලෙසින් තේරීපත් වුණා. වර්ෂ 1861 පෙබරවාරියේ දී වොෂිංටනයට ගිය ඒබ‍්‍රහම් ලින්කන් මාර්තු 4 වැනි දින ජනාධිපති ධූරයේ වැඩ බාර ගත්තා.ලින්කන්ගේ පත්වීමට දකුණු ප‍්‍රාන්තය විරෝධය පෑ අතර දකුණු කැරොලිනා වාසීන් අපෙ‍්‍රල් 12 වැනිදා සටන් ආරම්භ කළා. සිවිල් යුද්ධයකට කැමැත්තක් නොදැක්වූවද දක්‍ෂිණ වාසීන් හා සටන් කරන්නටයි ලින්කන්ට සිද්ධ වුණේ. ලින්කන් දෙවැනි වරටද ජනාධිපති ලෙස තේරීපත් වුණු අතර 1865 දී වහල් බව නීති විරෝධි කරමින් 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිකුත් කෙරුණා. ඒ වන විට ද යුද්ධය පැවතුණ අතර යුද්ධය ආරම්භ කළ අයම එය නවත්වන තුරු සටන දිගටම ගෙන යන්නටයි ලින්කන් තීරණය කළේ. අවසානයේ දී යුද්ධය නිමාවට පත් වුණා.යුද්ධය අවසන් වීමෙන් පසුව ජනාධිපති තම බිරිය සමඟ නාට්‍යයක් නැරඹීමට වොෂිංටනයේ ෆෝඩ් නෘත්‍ය ශාලාවට ගිය. එහිදී ජෝන් විලික්ස් බූත් නැමැත්තෙකු ලින්කන් ජනාධිපති තුමාට වෙඩි තබා ඝාතනය කළා.වඩුවෙකු, ඔරු පදවන්නෙකු, මිනින්දෝරුවෙකු ලියුම් බෙදන්නෙකු, තැපැල් මහතෙකු හා නීතිඥයෙකු ලෙසින් ජීවිතයේ යුග කිහිපයක්ම පසු කර කෘතහස්ත දේශපාලනඥයකු ලෙස කටයුතු කළ ඒබ‍්‍රහම් ලින්කන් අදටත් ඇමරිකානු ජනතාවගේ අමරණීය චරිතයකි. ඔහුගේ ජීවිතයෙන් අපට උගත හැකි දේද බොහෝයි.

ඉරූෂා ග්‍රේරෝ
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

උපුටා ගැනීම

http://www.facebook.com/l/3cd81_5n4LynzvK78ecYlcv_1aA/www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=15303%3A2010-06-14-05-55-32&catid=94%3Abiography&Itemid=117&lang=si

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කාලීන, සිත්ගත් චරිත. Bookmark the permalink.

4 Responses to දුගී පැල්පතින් ධවල මන්දිරයට ගිය ඒබ‍්‍රහම් ලින්කන්

  1. Ridma Rasangika පවසයි:

    මම මගේ අධ්‍යන වැඩකට අදාල තොරතුරැ ගොඩක් ලබා ගත්තා.ගොඩක් පින්
    රිද්මා

    කැමතියි

  2. උදය පවසයි:

    ලබාදෙන දැනුමට බොහෝම ස්තුතියි. මා නොදත් දේ බොහෝය.

    කැමතියි

  3. අඛිල ජයලත් පවසයි:

    ඕනෑකම ඉදිරියේ සියළු නෑකම් පරදී., උත්සහවන්තයා ජයගනී., මෙවන් චරතාපාදාන අද තරුණ සමාජය කියවා අවබෝධ කරගනුයේනම්, කෙතරම් අගනේද.,

    කැමතියි

  4. උදාර පවසයි:

    වටින ලිපියක්. ලින්කන් කියන්නෙ මාත් අතිශය ගරු කරන චරිතයක්. ඒ වගේම ඔහු නොමියෙන මිනිසෙක්.

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )