සිංහල සමාජය තුල බෞද්ධ භික්ෂුවගේ වගකීම කොයිබටද ?

මෑතක කාලයේ මා කියැවු පොත් අතර ජයන්තයන්ගේ ‘මහ රජ ගැමුණු’ ගද්‍ය රචනය සිත තුල කිදා බැස ගත් මේ මොහොතටත් දෝංකාර දෙන්නා වු සුවිශේෂි රචනයකි. ඉතා කර්කශ වූත් දැඩි වූත් සාංසාරික වන්දනාවේ තවත් එක් වන්දනීය ඉසඹුවක මාද සාක්ෂිකාරයෙක් වී ඇති බවක් දැනේ.

ගැමුණු රජුන්ගේ උපත පිළිබද චන්ද්‍රසිරියන් කාව්‍යමය සිතුවමක් ඇද ඇත.

‘විහාර මහාදේවිය ගේ දෙ නෙත් කඳුළින් තෙත්වෙයි. අපහසුවෙන් විවර වු මුඛයෙන් ඇය යමක් පවසනවාද නැද්ද යන්න කිසිවෙකු අසන්නේ නැත. ඒ පිරිත් සජ්ඣායනයේ හඬ නිසාම නොවේ. “අනේ පොඩි හාමුදුරුවනේ තුන් වැනි වතාවටත් ඉල්ලා සිටිනවා. මගේ පුතා වෙලා ඉපදෙන්න….’
( මහරජ ගැමුණු 11 පිට.)

“ඒ විහාරමහා දේවී තොමෝ එහි ගොස් මරණාසන්න වු ඒ හෙරණුන්දෑට මාගේ පුත්බව පැතුව මැනවීයි කීවාය. සාමණේර තෙම එයින් චුතව, ඒ දේවීය කුස පිළිසිඳ ගත්තේය.”
( මහාවංශය 22 පරිච්ඡේදය, දුටු ගැමුණු උත්පත්ති කතාව )

මෑතක මා තිබ්බතිය හා වජ්‍රයානීය ප්‍රතිපදා පිළිබද ලියැවි ඇති ග්‍රන්තයක් පරිශීලනය කලෙමි. දලයි ලාමා තුමා හා තිබ්බතීය භික්ෂූ ජීවිතය පිළිබද බොහෝ දෑ කියැවිමි.

දේශපාලණික ලෙසත් ආගමික බෞද්ධ ආගමික ප්‍රතිරූපයක් ලෙසත් 14 වන දලයි ලාමා තුමන් (අතිපූජණීය තෙන්සින් ගයට්ෂෝ තුමා ) ප්‍රභල චරිතයක් වෙයි. එතුමන්ගේ උපත්තිය ගැන උන්වහන්සේගේ මව (දිකි සෙරිං)පසු කලෙක මෙසේ සිහිපත් කොට ඇත.

“දරුවා උපදින්ට පෙර දවසක මම හීනයක් දැක්කා. ඒ හීනේ හිටියේ නිල්පැහැති මකරෙක් හා හිම පැහැති සුරතල් සිංහ පැටවු දෙන්නෙක්.”

මා ගැමුණු රජුගේ උත්පත්ති කතාවත් නූතන ලෝකයේ ප්‍රභලතම බෞද්ධ නායක තුමන්ගේ උපත්ති කතාවත් ඉතාම සැකෙවි ආරම්භයේම ඈදීම යමෙකුට ගැටලු සහගත වනු ඇත. එය ලිහීමට මාන තැනීමා ලේඛකයගේ වගකීම වෙයි. ඉන් පූර්විකාව ගොන සංවාද කලයුතු තැන ඉලිප්පිම සුදුසු යැයි සිතමි.

වංශ කතා අනුව දුටු ගැමුණු රජ යනු රුහුණේ කොටගල නම් පන්සේ වැඩවාසය කරන ලද ‘සුමන’ නාමධාරි සාමනේර වහන්සේ නමකි. ඒසේම 14 වැනි දලයි ලාමා තුමා යනු 13 වැනි දලයි ලමා තුමාගේ (තුබ්තේන් ගයට්ෂෝ ) පුණරුප්පතිය යැයි තිබ්බතය පිළිගනි ( දලයි ලාමා තුමෙකු අපත්වු පසු නැත ඉපදීමක් සිදුවන බවත්, හේ ඊලඟ දලයි ලාමා තුමා විය යුතු බවත් තිබ්බතීය පිලිගැනීමයි. තෝරා ගැනීමේදි ඉතා ක්‍රමවත් පිලිවෙලක් අනුගමනය කරයි. එය භෞතික වාදිව හෝ බටහිර විද්‍යාත්මකව තේරුම් ගත නොහැකි, නමුත් නිරික්ශන හා ප්‍රතිපල ඇති සහෝතුක ක්‍රමයකි )

අරිට්ඨ මහ රහතන්වහන්සේගෙන් ඇරඹි ක්‍රමවත් සිංහලේ භික්ෂු සාසනය අද දක්වා නොනැසි පැවගෙන ඇත. යම් යම් කාලවලදී ඇති වු දේශපාලණික හා ආගමික මතවාද ඔස්සේ පරිනාමයට පත්ව ඇති ලංකීය සංඝ සමාජය එදා මෙදා තුර අති ශෝභනීය සංකෘතියක් සෑදේමෙහිලා මූලිකත්වය ගෙන වැඩසිටියි.

කෙසේ නමුත් සිංහල ජන විඥ්ඥාණයද භූමීය හා භාහිර බල ඔස්සේ පරිනාමයට ලක් වී අද පවතින ‘ලාංකික’ සමාජය දක්වා ඉතා සූක්ශමවත්, සංකීර්ණවත් ආකාරට හැඩ ගැසී ඇත. ඒ නමුත් චීනයේ භෞතිකවාදි බලපෑමෙන් පිඩාවට පත් වී ඇති තිබ්බතියේ ජනවිඥ්ඥානය එලෙස වෙනස් නොවි ඇති ආකාරය තුල ‘ලාංකික’ සමාජයත් නූතන තිබ්බතීය සමාජයත් අතර මහා රික්තකයක් මා දකිමි.

කුමක් හෝ ක්‍රියාවලික අතුරු ඵලයක් ලෙස ඇතිවූ ‘ලාංකික’ සමාජය අද වන විට ඉතා දරුණු සමාජීය අස්ථාවරත්වයක් ලබා ඇත.

මෙහි බලපතලම ඛේදවාචකය නම් සංඝ සමාජයේ ඇද වැටීමයි. ගිහි බෞද්ධයන් ලෙස අප කොතෙරම් දුරට සංඝ සමාජය තුලට බැසිය යුතුද කියා අවබෝධ කොට ඒ සම්බන්ධව මැදිහත් විය යුතු බව මගේ පිළිගැනීමයි. ඒ අපගේ කළගුණ සැලකීමක් හා සමාජීය යුතුකමක් ලෙස සැලකිය මනාය.

මධ්‍යතන යුගයට පෙර පැවති සිංහල සමාජය තුල මූලික සමාජීය සිද්ධාන්ත බවට පත්වූයේ බුදු සමයෙහි ඉගැන්වීම් වෙයි. නමුත් ඉන් පසු ඇතිවූ නව්‍යවාදි සංකෘතික අධිස්ථාපනයේ ප්‍රථිපල ලෙස සමාජය මහා පරිහානියකට ලක්ව ඇත. එය ශාසනිකවත් අන්වරතව සිදුවමින් ඇත.

ඉපැදීම සම්බන්ධව සිංහල සංස්කෘතිය තුල බුදු සමයෙහි ඇති විස්තර කිරීම් ඇතුලත් වී ඇත. අදටත් එවැනි දෑ අවශේෂ වී ඇත. ‘පෙර පින’, ‘සසර පුරුද්ද’, ආදි කොට ගත් සංකල්ප වලින් එය පැහැදිලි කෙරෙයි. නමුත් අද ‘ලාංකික’ සමාජය තුල එය මහා හාස්‍යයට කරුනකි. මෙය ශාසනයටද බලපා ඇත්තේ ඛේදාන්ත ජාලයක් ඇති කරවමින්ය.

තිබ්බතය ‘සසර පුරුද්දට’ මහණකමත් එහි නිළතලත් අදටත් ලබා දෙමින් ඔවුන්ගේ විසිතුරු සංකෘතිය රැකගෙන සිටියි. ‘ලාංකික’ භික්ෂුව සසර පුරුද්ද ඉවත් කොට ‘ලේ උරුමය’ මුල් කොට ගෙන ඇත්තේ කොතැනක වැරදීමකින්ද කියා සැම සොයා බැලිය යුතුව ඇත.

ලාංකික සමාජයේ ‘පෙර ආත්මය’ (පූර්ව ජන්මය ) ගැන හෙලි කරන දරුවන් හා මිනිසුන් ගැන මාධ්‍ය තුලින් විට විට ප්‍රචාරනය කරනු ඇසෙනු ලැබැයි. නමුත් බොහො දෙනා බටහිර මනෝවිද්‍යාවට යටව හෝ වෙනත් බලපෑමක් මත හෝ එය තකන්නේ නැත. සසර, සසර ගමන නෑ පුනරුප්පත්තිය විශ්වාස කරන අප, ඔවුන්ගෙන් ශාසනයට ගත හැකි දේ කුමක්ද කියා සොයා බලන්නේ නැත. එය මහා ඛේදයක් වී ඇත.

පෙර භවය ගැන හෙලි කල අය අතර “ධම්මික රුවන්” සුවිශේෂි චරිතයක් වෙයි. ඔහු පෙර භව කීපයක තතු හෙලිකල අයෙක් බව පැවසෙයි. කෙසේ නමුත් මෙය මහා උපහාසයෙන් දකින බටහිර උගත් ‘පඬුවන්’ වයස තුනේදි ත්‍රිපිටක සූත්‍ර ‘ඉතා නිවැරදිව’ මතකයෙන් කීම සම්බන්දව නිසොල්මන්ව ඇත.

ලංකාවේ මහන කම ‘වෘතියක්’ වී දෝ කියා මාහට සිතෙන වාර අනන්තය. එහෙයින් ලංකීක භික්ෂු සමාජය නැවත ප්‍රතිසංවිධානය විය යුතුම බව මගේ විශ්වාසය වී ඇත. මෙය කිරීමේදී අප පරිස්සම් විය යුත්තේ අපේ සංඝ සමාජයේ මුල් හා පදනම් හදුනා ගැනීමේදීය. භික්ෂුවක් පලමුව තම ආධ්‍යාත්මික දියුණුව ප්‍රධාන කර ගත යුතුව ඇත. නොයෙසේ නම් තමනුත් තමන් නියෝජනය කරන සංඝ සමාජයත්, එය පසු පස ඇදෙන පෘතජ්ජන සමාජයත් අවුලෙන් වියවුලට පත්වීම වැලකිය හැකි නොවෙයි. නූතනයේ එයට උදාහරණ බොහෝ වෙයි.

නූතන භික්ෂුවට ශාසනික අරමුණක් නැත. මෙය ඉතා බලවත් ප්‍රකාශයක් වනු ඇත. කෙසේ නමුත් මට වැටහෙන මා දකින කටුක යථාර්ථය එය වී ඇත. ඇතැම් විට මා වැරදි වනු ඇති නමුත්, මේ ලියමන මා මගේ හෘදය සාක්ෂිය කැටුව ලියන්නක් ද වෙයි. ලාංකික බොහෝ හිමිවරු අද වන විට වෙහෙසෙන්නේ තමගේ භෞතික දියුණුව තකාය. අදට ගැලපෙන අටපිරිකර සැබවින්ම පරිශ්කාර අටක්මද යන්න අද මා හට ගැටලුවක් වී ඇත. කෙසේ නමුත් මෙය සමාජයේ වරදක් මිස ඒක පුද්ගලයෙකු ලෙස ඌණනය කොට වට ගැනීමට උත්සාහ නොකරන්න.

මෑතක මා දැන ගත් පරිදි ලංකාවේ බෞද්ධ භික්ෂූන්ගේ ගන්න දළවශයෙන් 2500 ක් පමණය. මෙය වැරදි විය හැක. මිලියනයකට පමන වැඩි බෞද්ධ සමාජයක භික්ෂූත්වයෙහි අගය ඉතා අඩු අගයක් ගෙන ඇත. මෙයට හේතු සෙවිමේදි බොහෝ අය විවිධ දේ කියා කෑමොර ගසයි. කෙසේ නමුත් ලංකාව ගිල ගෙන ඇති ගෝලීය ලිබරල් ධනවාදය මෙයට එකම හේතුව නොවෙයි. මෑතක බොදුබල සේනා සංවිධානය මගින් හෙලිකරන ලද (සාධක සහිත ) විවිධ උපත්පාලන ආකෘති ගැන සමාජිය හා දේශපාලණික සංවාද ඇති වූයේ නැත. එයද සැලකිය යුතුව ඇත.කෙසේ නමුත් සිංහල පවුලකට සසුනට දීමට දරුවෙක් අද නැත.

තත්වය එසේ තිබියදි වසරක් තුල සංඝ සමාජයට ස්වේච්ජාවෙන් ඉදිරිපත් වෙන පිරිසක්ද නැත්තේ නොවේ. ඔවුන් ආකාර දෙකක් වෙතියි. පළමු ආකාරය ළමුන් වන අතර අනෙකුන් වැඩිහිටි (බහුතරය වයෝවෘද ) අය වෙති. ළමුන් පැවිදි බිමට එනුයේ ඒ පිළිබද උපන් අශාව තුලින් විනා ‘පැවිද්ද’ පිලිබද කිසිදු අවබෝධයකින් තොරවය.සසුනේ නායකයන් විසින් ඔවුන් හරි මග යැවිය යුතු බව ප්‍රත්‍යක්ශ නමුත්, අද වන විත ‘හරි’ මග ‘අරි’ මග වී ඇත්තේ කලාතුරකිනි.

අනෙකුත් වයස්ගත අයවලුන් පැවිදිවන්නේ අරුතක් ඇතිව මුත්, ශාසනාභිවෘධිය තකා මහා මෙහෙයක් කල හැකි දැයි ප්‍රශ්නාර්ථයක් ඉතුරුකර ඇත. ශාසනමාමක , බහුශ්‍රැත, තපෝධර, විනයධර මහා නායකයන්වහන්සේලා දක්වා යන සාමණේර උතුමන්ලා ඉතා අඩුය. ලාංකික බුදු සසුන “ශක්තිමත්” විය යුතුව ඇත. ඒ සදහා ක්‍රමවත් සැලසුමක් හා වැඩ පිළිවෙලක් අත්‍යාවශ්‍ය වී ඇත. අර්ථයක් නැති වී ඇත ‘මහන’ කමට අර්ථයක් සැපයීමට මහා සංඝරත්නය වහ වහා එකතු විය යුතුය. ඒ සදහා ගිහි සමාජය උපරිමයෙන් සහය දිය යුතුය. තාමාගේ පරපුරේ පැවැත්මට හෝ, විහාරයේ හෝ පිරිවෙනෙහි ගණ පූර්ණය පවත්වා ගැනීමටත් මහනකම නොදිය යුතුය. එයම සිදුවන අද, පැවිද්දට වඩා උපැවිද්ද වැඩි වී ඇත.

සිංහල සමාජය හා බුදු සමය අතර සම්බන්ධය වසර දෙදහස් ගණනකට දිවයයි. එතුලින් ගොඩ නැගී ඇති අන්තර් ජන විඥ්ඥානය අදටත් සිංහල සමාජයේ බොහෝ සිත් තුල ‘සැඟව’ ඇත. මැතකාලීනව සමාජීය විපරියාස තුලින් මකා දමා ඇති, මෙන්ම මැකීමට යත්න දරන ‘බෞද්ධ භික්ෂුව’ යන ප්‍රතිරූපය නැවත වරක් අර්ථ පූර්ණව ගොඩ නැගිය යුතුව ඇත. හුදු ඒකීය ප්‍රපන්ච වල පැවැත්ම තහවුරු කරනු වස් අරගල කරන සිංහල තාරුණ්‍යයට මේ සදහා පුලුල් දායකත්වයක් සැපයිය හැකි බව මගේ පුද්ගලික විශ්වාසය වෙයි. ‘ථේරවාදි බෞද්ධ භික්ෂුව’ හේ සිංහල සංකෘතික අන්‍යතාවය යලි පිබිදීම ඉක්මන් නොවුනහොත් නූතන ‘ලාංකික’ සමාජය තුල නූතන බෞද්ධ භික්ෂුවගේ ‘ගබ්සා’ වීම නියතය.

උමන්ද ජයෝබණ්ඩාර
2014 මැදින් මස 15 දීය

Posted in කයිවාරු | Tagged , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

අපේ මියුරු පෙම් කතා

ආදරණිය තිෂාරා,

මේ ලිපිය ලියන මොහොතේ ඔයා හොදටම නිදි. ඒත් මමත් මගේ හිතත් තාමත් ඇහැරලා කාබන් පෑනයි කොපි කොලයයි අතරේ හිරවෙලා. එක එක දේවල් ගැන මට හිතෙන දේවල් අනලස්ව ලියන මට, ඔයා ගැන ලියන්ඩ පටන් ගන්නවා කියන්නේ මහා අභියෝගයක්. ටික වෙලාවක් පෑනෙන් කොලෙට තට්ටු කර කර හිටපු මම ඉබේටම වගේ කාමරයෙන් එළියේ තියෙන බක්මීගහ දිහැ බැලුවා. මේ බක් මී මල් අවාරේ උණත් මට එකපාරටම හිනාවක් එක්ක ඉමාන්ගේ මේ සින්දුව මතක් වුනා. මම සිංදුව මුමුණ මුමුණා ජනේල් පියන ටිකක් අඩවල් කරලා බක්මි ගහ දිහෑ බලාගෙන හිටියා.

සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා
කුරුලු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා

දවසක් මේ ගහෙන් මම අහුලලා දීපු බක්මී මල තවමත් ඔයා තියාගෙන ඉන්නවා. බක්මී මල පිපුනාහම හරිම ලස්සනයි. සුවඳයි. “හරියට ඔයා වගේ” මම එහෙම කියන කොට ඔයා හිනා වෙලා ඒ මල අරන් තියා ගත්තා. ඒ මීට ගොඩක් කාලේකට කලින්. මම ආපහු කාබන් පෑන අතට ගත්තා.

මිනිස්සුන්ගේ ජිවිතවල පැවැත්මට ආදරය ඇත්තටම ඕනෙද..? එහෙමත් නැත්නම් ආදරයේ පැවැත්මට මිනිස්සු ඔනේද..? ඉස්සර මම ඔයත් එක්ක මේක ගැන බර සාරෙට කතා කරා. ඔයා අහගෙන හිටියා. මම තර්ක කරා. ඔයා බලාගෙන හිටියා. මම දිනුවා, ඔයා පැරදුණා, මම එහෙම හිතුවා. හැබැයි හිත් වලින් ඔයා, මම, අපි එකිනෙකාට ආදරය කරා.

ආලය වන් මනරම් කවිකම් දෙන
සිතුමිණ කොඳ විස්කම්
හදවත් වී සමහම් නිගැයුම් කර
සිඳ බිඳලයි බව ගිම්

අපේ මේ ‘ආදරය’ කියන හඳ එළිය ජිවිතයට වැටුණහම අනාදරයේ අපල අඳුරෙන් එය වසා දමන්නට මම කැමති වුණේ නෑ. ඉබාගාතේ ආකූලව ගලපු මගේ ජීවිතේට තොටමුණක් හදන්ට මම වෙහෙසුණා. මිනිහෙක්ගේ ජීවිතේ සිද්ධ වෙන්ඩ පුළුවන් ඉහළම දේ ‘ආදරය’ කියලා මම හිතන්ඩ ගත්තා. ආදරේ හදවතේ පතුලටම කිදා බහිනවා විතරක් නෙවෙයි, ඥානයත් ගෙනැත් දෙන්ඩ පුළුවන් කියලා මම හිතුවා. ආදරය නැමති හඳේ එළිය ඔයාගෙන් උරා ගත්තු මම ආපස්සට ඒ ආදර හඳ එළිය විහිදුවන්ඩ ගත්තා. ගෙදර ආපුවහම අම්මා අප්පච්චි ඉස්සරහා මල්ලි කියන ‘අයියගේ මූණේ පෙම් පාට’ මේ මගේ ආදර හඳ එළියේ පාට වෙන්ටැ කියලා මම හිතුවා.
ආදරය හා ප්‍රේමය කියන සංකල්ප දෙක ගැන මම ඉස්සර කතා කරපු හැටි මේ ලිපිය කියවගෙන යනකොට ඔයාට මතක් වෙනවා ඇති. ප්‍රේමය හා ආදරය කියන්නේ දෙකක්ද එකක්ද කියලා තේරුම් ගන්ඩ බැරි අය මේ සමාජේ කොච්චර ඉන්නවා ඇත්ද. භගවාන් රාජ් නිෂ් හෙවත් ඕෂෝ ආදරේ ගැන මෙහෙම කියනවා.

“තමන් ආදරේ යැයි කියන්නේ මොකක්ද කියා දන්නවා යැයි සිතන එක මිනිසාගේ මූලිකම මුළාවන් ගෙන් එකක්”.

පාරේ තොටේ බස් එකේ කඩ පිලේ කොච්චර නම් ආදරවන්තයන් ඉන්නවද..? ඒ හැමෝම ගාව ආදරය තියෙනවද? ආදරවන්තයන්ටම වෙන්වෙච්ච දින, උද්ද්යාන, මං මාවත් තියෙනවා. ඒවා ඇතුළේ තියෙන්නේ ආදරයද..? ඕෂෝ ආදරය මුලාවක් කියන කොට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්රයන් , ප්‍රේමය ගැන මේ විදිහට කියනවා.

“ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
රිසි වු කෙනෙකුට පූජා කරනට
ලෝභ සිතින් තොර පිදුව මනාවේ
පෙරළා ලබනට නොසිතා බිදකුත්”

ආදරයයි ප්‍රේමයයි කියන්නේ දෙකක්. මම එහෙම හිතනවා. හැබෑ ප්‍රේමය තුළ ආලිංගන නෑ. මම එහෙම හිතනවා. ‘සක්වා ලිහිණියේ’ තැනක සේකරයන් කියනවා

ඉහළ වෙලේ ඉස්මත්තේ
දිය හබරල මල් ගොල්ලේ
නීල වරල ළමැද හෙළාලා
බිමට නැමී ඔය කවුදෝ
පලා නෙළන්නේ
නීල නුවන් දෑළවරින්
වැසි වස්සන්නේ

පහළ වෙලේ පුරං වෙලා
වල් බිහිවී ගිය කුඹුරේ
මම තනියම කාන්සියෙන්
කුඹුර කොටනවා
ඈත ඉන්න උඹේ මූණ
හිතේ ඇදෙනවා

ගමේ හැදිච්චි ඔයාටයි මටයි ගමේ හුරුව තියෙන හින්දා වෙලේ ලියද්දේ ගැමි සෙනේ ගැන ඔයාට මම මොනවට අටුවා කියනවාද. සේකරයන් ගැමි යුවළගේ ප්‍රේමය ගැන කීවා විනා ආදරයක් ගැන නොකිවා යැයි මම හිතනවා. දිය හබරල මල තද දම් පාටට හුරු නිල්පාට. මල් පොකුරට බූසෙට හැදුණාම හරිම හැඩකාරයි. හරියට ඔයාගේ කැරලි වැටිච්ච, කියබුලතා මොනවට ඇති කොණ්ඩේ වගේ. කොහොම වුණත් ඔය මොන විදිහට කිවුවත් ප්‍රේමයෙන් තොර ජීවියක් අප් දෙන්නට නෑ නේද.?

මම සෑම විටම උත්සාහ කළේ හැමදෙයක් ගැනම තාර්කිකව බලන්ඩ. අපේ ජිවිතේ අර්බුද ආපු හැමවෙලේම මම කිවුවේ හදවත වැඩක් නෑ මොලෙයි වැදගත් කියලා. කන්දේ, ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක්මානේ මා දුටු සංකල්ප රූපක නාගරික මධ්‍යම උගත් පන්තියේ සිතුවිලි වලින් අධිස්ථාපනය වුණාදෝ කියලා අද මට හිතෙනවා.

ඉස්සර අපි රසායනාගාර ඇතුළට වෙලා පොත් පත් වලට ගුලි වෙලා ශාස්ත්‍රානූකූල ක්‍රම වලින් හැම දෙයක් දිහැම බලන්ඩ පුරුදු වුණා. ඉස්සර මිනිස්සු දෙවියන් විසින් සිල්ල මැවුවා කියන පුහු නිෂ්ඵල මතය කරේ තියාගෙන ගියා හා සමානවම විද්‍යාත්මක ක්‍රමයකට සියලුම දේ භෞතිකව දකින්ඩ හැදුවා. ඔයා කොහොම වුණත් මම හිතුවේ විද්‍යාව තරම් යථාර්ථයක් තව නෑ කියලා. සියලු දේට සාර්වර්ත්‍ර පැහැදිලි කිරිමක් ලෙසට විද්‍යාව පිළිගත්තා. හැබැයි ඇත්තම කතාව විද්‍යාවට අහු වෙන්නේ නැති මොකක්දෝ දෙයක් අපි අතරේ තියෙනවා කියලා මට තේරුණා. විද්‍යාවට අහුනොවෙන යථාර්ථය මනුෂ්‍ය බැදීම් ඇතුළේ තියෙනවා කියලා මට තෙරුණා. මම හිතන විදිහට අපි දෙන්නා අතරේත් ඇති වුණේ එහෙම බැදීමක් වෙන්ඩ ඇති. සාංසාරික බැදීම් කියන දේවල් හිත් වලට මිසක් යන්ත්‍රවලට දැනෙන්නේ කොහොමද..? මේ ගීය මගේ පරිගණකයේ ධාවනය වුණත් මෙකේ තෙරුම දැන්නේ මගේ හිතට මිසක් පරිගණකයට නෙවෙයි කියලා මම දැන් දන්නවා.

සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙම්
ඔබ නිසා පදවන්නෙමි….

ලියාගෙන ලියාගෙන යන්ඩ කොච්චර හිතුවත් හිත ඇතුළට ඔයා ගැන ලියන්ඩ එකපාරකට මහ ගොඩාක් අදහස් ඇතුල් වෙනවා. අදහස් ගොඩාක් අස්සේ මම දැන් ආපහු හිර වෙලා. ඒ අතරේ ආපහු මට බක්මී ගහ දිහා ආපහු සැරයක් බැලුණා. ලබන පසළොස්වකට හඳ මෝරාගෙන එනවා. ඒ අඩ හඳට එහැයින් වෙන්ඩ පුංචි තරුවකුත් පායලා. බක්මී කොළ අස්සෙන් හඳයි තරුවයි දිලිහෙනවා. ඒ අස්සේ එහා ගෙදර පුංචි එකාව හුරතල් කරන්ඩ එල්ලා තියෙන සුළං සීනු හුළඟට හෙලවෙනවා. මේ ඔක්කොම හරියට අපේ පෙම් කථා හොරෙන් අහගෙන ඉන්නවා කියලා මට හිතෙනවා,

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා..
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා.. සිටිනවා…

කදුළු බිදු ගලා සඳේ තුරු ලතා පුරා
සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදීම්
මහත් වියරුවෙන්..

කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා
ඔබේ සිසිලසින්…

අමරදේව මාස්ටර් මේ සිංදුව අපි දෙන්නටම කිවුවදෝ කියලා මට එක පාරටම හිතුණා. මූණට පිරිච්ච හිනාවත් එක්ක මම අයෙත් ලියන්ඩ පටන් ගත්තා.

ප්‍රේමය උත්තරිතර වෙන්නේ කොහොමද කියලා ඇහුවොත් මම තාමත් ගොළුයි. මට ඒකට දෙන්ඩ එක එල්ලේ උත්තරයක් නෑ. හැබැයි ප්‍රේමයේ චමත්කාරයත්, එහි ආනන්දයත්, රමණිය බවත් මට දැනෙනවා. එපමණකින්ම එහි වටිනාකම, තක්සේරුව අමිලයි අපමණයි. අහස් ගැබේ කොච්චරද තරු, පොළෝතලේ කොච්චර වැලි එපමණකින්ම මම ආදරෙයි. ඉස්සර චරිතාගේ ඔය ගීය ඇහෙනකොට මම දුටුවේ බොළඳ ආශාවක් පොදි කරගත් තරුණියකගේ විලාපයක්. ඒත් එහි තියෙන සංවේදි භාවාත්මක හැඟිම මට තේරුම් ගන්ඩ උවමනවක් තිබ්බේ නෑ. තිබ්බත් මම ආයාසයෙන් ඒක මැඩ ගත්තා. ඒ මගේ විනයක් නැති අසංවේදි චිත්තවේග හින්දා කියලා මට හිතෙනවා.හැබැයි අද මම නන්දගේ මේ සිංදුව ඇහෙනකොට එළියේ තියෙන කිසි දෙයක් පෙන්නේ නැති වෙන්ඩ ඇස්දෙක පියා ගන්නවා. කළුවර අස්සේ මම ඔයාව දකිනවා.

කළා වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මටමැ වටී
බෝධියකින් වට බෝ කොළයක් සේ
අගී අගී ඔබ මටමැ අගී

ඉපදිච්ච දවසේ ඉදලා අද වෙන කන් අපි දෙන්නට මිනිස්සු කීදෙනෙක් නම් කියලා හම්බ වෙලා ඇත්ද. ඒ අය අතරින් කී දෙනෙක් එක්ක අපි සම්බන්ධකන් හදාගෙන ඇත්ද. ඒ අද අපේ දෙමව්පියොයි අඹ යලුවෝ ටිකයි ඇරුණාම අනෙක් සියලු දෙනාම හරියට හුළඟවගේ. සම්බන්ධකණ් ගොඩ නැගෙන්නේ කොහොමද කියන්ඩ හරියටම දන්නේ නැති උණත් සම්බන්ධකම් වල වටිනාකම මට ආපහු ආපහු මතක් කළේ ඔයනේ.

ආපහු වැහිකාලේ පටන් ගෙන. එළියේ සර සර ගාල ලාවට හිරි පොදක් යනවා.දැන් එන්නේ ශීතකාලේ හින්දා ඔයත් එක්ක නුවර පැත්තේ යන්ඩ හිතාගෙන හිටපු එක ලබන් අවුරුද්දට කල් දානවා කියලා හිතුවා. වැහිකාලේ ඇවිදින්ඩ යනවට අම්මත් කැමති නැති එකේ වෙන දිහැවක යන්ඩ හිතා ගත්තා. බක්මි කොළ අස්සෙන් දැන් හඳ පෙන්නේ නැතුව ගිහින්. බාගදා වලාකුළු හින්දා වැහිලා වෙන්ටැ. වෙලාවක් රෑ දොළහ පහුවෙලා. හෙට උදේ මම අරන්දීපු නිලුයි සුදුයි ඇදුම් ඇදගෙන අම්මා හදපු කිරි බේරෙන් රතු කැකුළු කිරිබත් කැටේ ඔයාගේ අතින් කන්ඩ  ඔනෑ හින්දා මම දැන් නිදා ගන්නවා.

ඔයාට සුබම සුබ උපන්දිනයක්.

නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිතමිතුරු වූ වසත් කාලයයි

2013 – සැප්තැම්බර් – 11 දා

Posted in කථාන්දර, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 2

අන්තර්ජාලය , ෆේස්බූක් හා පරිසරය

මේ විඩියෝ එක බලන්ඩ. තාක්ෂණය ගැන ඔයාලා පුදුම වේවි. නමුත් මම කියන්ඩ යන්නේ ඊට එහා ගියා අපි නොහොතන පැත්තක් ගැන.

https://www.facebook.com/photo.php?v=1392666350947762

මම කලෙකට ඉස්සර කිවුවා ඔයාලා අන්තර්ජාලයට මුදා හරින සෑම මෙගා බයිට් එකකින්ම අපි ජීවත්වෙන පෘථිවියේ භූමියෙන් වර්ග සෙන්ටිමීටරයක් අහිමි වෙනවා කියලා. ඒක වෙන හැටිත් මම පැහැදිලි කරා. පරිගණකයේ සියලුම දත්ත ඉලෙක්ට්‍රොණිකව අත්‍යන්තව පාලනය උණත් එම දත්ත සුරැකෙන්නේ භෞතිකව. අපි ඩේටා සර්වර කියන්නේ ඒවටනේ. මේ විඩියෝවේත් තියෙන්නේ ඒ වගේ ඩේටා සර්වර නොහෝත් ඩේටා සෙන්ටරයක්. විඩියෝවේ අවසානයට වෙන දේ දැක්ක නේද..? අලුත් ඩෙටා සෙන්ටරයක් හදන්ඩ පොළොව කපනවා.

මෙවැනිම දෙයක් ගූගල් සදහාද වෙනවා. කොටින්ම කියතොත් අද අපිට නොදැනී පරිසරය විනාශ කරන එක් මාධ්‍යයක් තමයි, එහෙමත් නැති නම් පරිසර දූෂකයක් තමයි, මේ අන්තර්ජාලය. මේයින්, භූමිය, වාතය, ජලය කියන තුනම දූෂණයට ලක් වෙනවා. එහෙම කියලා අපිට මේක භාව්ත නොකර ඉන්ඩත් බෑ.

හැමදාම පවතින තරඟය එක්ක විවිධ මෙවලම් ෆේස්භූක් එකට්ත එකතු වෙනවා. ළඟදිම ආපු දේ තමයි ‘ෆෝටෝ කොමෙන්ට්’ භාවිතය. එය හොද අලුත් ලක්ෂයක් උණත්, එමගින් දත්ත අවභාවිතාවක් වෙනවා. එහෙම වෙන්නේ කොහොමද. ඔයාලා ‘ෆෝටෝ කෝමෙන්ට්ස්’ වලට යොදා ගන්නා ගොනුව, බොහෝ විට අන්තර් ජාලයෙන් පරිගණක‍ය ගෙන, නැවත අන්තර්ජාලයට මුදා හරිනවා. එක දත්තයක් තැන් තුනක නැවත ජනනය කරනවා. මම හිතනව මම කියන දේ පැහැදිලියි කියලා. බයිට් එකක් අපිට දැන්නේ නෑ. ඒ වගේම මහා සාගරය හැදිලා තියෙන ජල බිංදිත්තක් අපිට දැනේනෙත් නෑ කියලා අමතක කරන්ඩ එපා.

අද වන විට පාරිසරික ගැටලු මහා ගොඩක් ඇති වෙලා. මේ සියලු ගැටලු වලට මිනිසා ඍජුව මෙන්ම වක්‍රව දායක වෙලා තියෙනවා. නේචර් සඟරාවට අනුව, මිනිසාගේ මෙම නොමනා ක්‍රියා පාලනය නොවුණොත් තව වසර හතළිහක් පමණ වන විට කිසුදු අයුරකින් නැවත හැරවිය නොහැකි අන්දමේ පාරිසරික විනාශයන් වන බවට අනතුරු හඟවනවා. කාන්තාර කරණය නවත්වන්ඩ මිනිසාට තාම බැරි උණා. සුනාමි, භූ චලන, ගං වතුර නවත්වන්න තාමත් මේ හෝමෝ සේපියන් සේපියන්ට බැරි උණා. මිහිතල අයිති මිනිසාට පමණක්ම නෙවෙයි. සියලූම ජීවි අජිවින්ගේම අයිතියක්.

මේ පණිවිඩය තවත් එක්කෙනෙකුට හරි කියලා තවත් කෙනෙක් දැනුවත් කරන්ඩ. පරිසරය සුරකින්න උදවු වෙන්ඩ. එහෙමත් නැති නම් පරිසරය දූෂණය කිරීමෙන් වළකින්න. පරාර්ථකාමීව හිතන්ට පුරුදු වෙමු.

හැකි සෑම විටම ‘ෂෙයාර් කරමු, අප්ලෝඩ් කිරීමෙන් වලකිමු”

Posted in කයිවාරු | එක් ප්‍රතිචාරයක්

ඔවුන් ‘නිව්ස් ෆස්ට්ය’, නැති නම් ‘නිවුස් වලින් ෆස්ට්ය’, එසේ නැති නම් ‘තෘත් ෆස්ට්ය’,මේ සියල්ල හුදී ජනයාට මැජික්ය

මාධ්‍ය සදාචාරය වු කලි සියලු දේ ජනතාව දැන ගත යුතු බවත්, මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා උදවියගේ ප්‍රකාශන අයිතියට කිසිවෙකුවත් හරස් නොවිය යුතු යැයිද කියා මධ්‍යවේදීයෝම හදුන්වා ගනු ලබයි. කලකට ඉහත චන්ද්‍රිකා මහත්මියගේ ආණ්ඩුව සමයේ මේ පිළිබද ප්‍රකාශයක් කල මංගල සමරවීර මහතා, කීමට උත්සාහ කළේ “මාධ්‍ය සාදාචාරය ඔනෑවට වඩා එපා” කියලාය.

මාධ්‍ය හෝ ජනසන්නිවේදනය කුමක් සදහා ද කියා, හෝ එහි නිශ්චිත පරාමිතීන් හෝ බහුතර සීනිබෝල මාධ්‍ය කාරයන් / කාරියන් දන්නේ නැත. දිනක් සිරස මාධ්‍යයේ සිටි ‘කිංස්ලි’ මහතා කියා සිටියේ ‘අපි මිනිසුන්ගේ හැඟිම් විකුණන බවය’. එනයි බැලු කල මාධ්‍ය අද කරනුයේ කුමක්ද හා මාධ්‍යයේ වගකීම කුමක්ද කියා ගැටලු සහිතය.

මෘද්‍රිත වෙවා, ශ්‍රව්‍ය දෘශ්‍ය වේවා, අද මාධ්‍ය හා මාධ්‍ය කාරයන් / කාරියන් කරනුයේ ‘වෙළදාමකි’ මෙහිදි විකිණෙන්නේ, සිරසේ කිංස්ලි මහා කියු පරිදි මිනිසුන්ගේ ‘හැඟිම්’ ය. අර්ථ සම්පූර්ණ මාධ්‍ය කාලාවක් වෙනුවට අද ඇත්තේ ධනේශ්වරයට මුක්කු ගසා, තමන් ගොඩ යන ආත්මාර්ථකාමී මාධ්‍ය බිස්නස් එකකි.

සිරස මාධ්‍ය ජාලය ආරම්භයට පෙර මගේ මතකය හැටියට, රජරට සේවය, ස්වදේශිය සේවය,ආදි ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිෂ්පාදන විය. නමුත් පසුව ආ ‘සිරස’ (සි- සියල්, ර- රස, ස- සමගින් ) ‘ජඩ’ එෆ් එම් සංස්කෘතියකට මුල් ගල තබා ඇත.

සිරස පසුපස ආ හිරු, සඳු, සා, බා, පා, වැනි අරුමෝසම් එම්.එම්. කරුම, අද ගුවන් විදුලිය කුණුහරුපයක් කර ඇත. අද ඇත්තේ නිවේදිකාවන් නොවන අතර ඇත්තේ ‘ප්‍රසන්ටස්ලාය’.

ස්වාධින රූපවාහිනිය, හා ජාතික රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය මධ්‍ය මුල්කාලයේ මනා කොට හදුනා ගෙන තිබුණි. ඒ සදහා වු පූර්ණ මෙන්ම සංයමයකින් යුතු මාධ්‍ය දැනුමකින් හෙබි සම්පත් එකල තිබුණි. ටයි මහතා අද නැත. රන්සිරිලාල් මහතාට ටයිමහතාගේ හෙවනැල්ලත් ගව්ගානක ධුරය.

ගුවන් විදුලි මාධ්‍ය කාබාසිනියා කරන ලද ‘සිරස’ රූපවානියත් කෑම ඇරඹිම සිදු විය. එහි උච්චතම අවස්ථාවේ ‘මෞලීය’ මංගල්‍ය අද වන විට දැකිය හැක. කලින් කලට එක එක රැළි නිර්මාණය කොට ජනතාව මුළා කිරීමේ කලාව හදුන්වා දුන්නේ සිරසේ ජඩ මාධ්‍ය භාවිතාව බව නොරහසකි.

බටහිර ඇති මධ්‍ය සංදර්ශන අමු අමුවේ ‘කොපි’ කිරීම ‘සිරසේ’ කලාවයි. ඔවුන් අනුව යන ස්වර්ණවාහිනිය, දෙරණ ආදිය ‘කොපිය- රීමික්ස්’ කරති.

නමුත් ඔවුන් ‘නිව්ස් ෆස්ට්ය’, නැති නම් ‘නිවුස් වලින් ෆස්ට්ය’, එසේ නැති නම් ‘තෘත් ෆස්ට්ය’,මේ සියල්ල හුදී ජනයාට මැජික්ය.

මෙවැනි මාධ්‍ය භාවිතාවක පවත්වාගෙන යනු ලබන්නේ පවතින දේශපාලන රමුව විසින්ම වීම අනෙක් දුර්ගාන්තය වි ඇත. එනයි බැලු කල සර්ව සාධාරණිය නිදහස මාධ්‍ය භාවිතාවක් නැත. නිදස් මාධ්‍යවේදීන් යැයි කියා ගන්න වුන් ක්‍රියාත්මක වන්නේද තුන්වන පාර්ශවීය න්‍යාය පත්‍රයකටය. එනයි බැලු කල ලංකාවේ මධ්‍යයක් නැත. ඇත්තේ මාධ්‍ය ව්‍යාපාරයකි. ඇතැම්විට මෙය ආශ්චර්ය කරා පිය නගන් ගමනේ තවත් එක ආර්ථික උපායක් විය හැක. මම ආර්ථික විද්‍යාව දන්නේ නැත. නමුත් ඡන්දය අත ළඟය.

Posted in කයිවාරු | ප්‍රතිචාර 2

ආපහු කොළඹට

සතියක් විතර මහ ගෙදරට වෙලා ඉදලා ආපහු කොළඹ එන්ඩ බඩු මල්ල සකස් කරද්දි හිතට හීනියට දුකක් දැනෙන්ඩ අරගෙන. පහු ගිය දවස් කීපයේම ගමේ වෙල්දෙනි වල, නෑයොන්ගේ ගෙවල් වල කරක් ගහලා සනීපෙට හැදිච්ච හිත ආපහු කොළඹ කාෂ්ඨකේට යනවට නෝක්කාඩු කියනවා. හිච්චි කාලේ ඉදලා ගමේ ඌරුවට හැදිච්ච මගේ හිත, කොළොඹ කොන්කිරීට් සෑයවල් වලට වල්මත් වෙලා. දුවන්නං වාලේ දුවන සමාජයේ තවත් පුරුකක් වෙච්ච මම කොන්ද කෙලින් කොරන් දෙපයින් නැගී හිටින කන් කොළඹ ගාට ගාට ඉදිවි. සංකර ඌරල් සමාජේ ඒ ඉහත්තාව කවදා නම් දකීද මං දන්නේ නෑ.

අපේ අම්මා සීරුවට කෑම පොදි ගහන අතරේ අප්පච්චි ඒවායේ ගුන දොස් හොයනවා. මල්ලි වාහනේ ආපහු ආපහු බලන්නේ හෙට වෙලාවට ඔෆීසියේ ඉන්ඩ ඔනෑ හින්දා මඟ කරදර අඩුවෙන්ඩ හිතාලා වෙන්ටැ.

ඒ අස්සේ අපේ ගෙදර පූසිට මේ සැරේ අවුරුද්දට පැටවු දෙන්නෙක් වදලා. පුලුන් බෝල වගේ උන් දෙන්නා හුරතල් කර කර හිටිය මම ආපහු හැරුනේ හෙට ගමනේ අඩු වැඩිය හරිද කියලා බලන්ට.

Posted in කථාන්දර | එක් ප්‍රතිචාරයක්

ගමට සංවර්ධනය

කඩිනම් මහවැලි ව්‍යාපාරයට පසු මෑත ඉතිහාසයේ ලංකාවේ සිදු වු සංවර්ධන ක්‍රියාවලියේ සුවිසල් ව්‍යාපෘතීන් තුනක් ලෙස මා දකින්නේ

1. දක්ශිණ අධිවේගි මාර්ගය
2. හම්බන්තොට වරාය
3. මත්තල ගුවන් තොටුපල

මා දන්නා ආර්ථික විද්‍යාවට අනුව ඔනෑම රටක සංවර්ධනයකට දියුණු මාර්ග පද්ධතියක් පැවතීම අනිවාර්ය වෙයි. ඒ වගේම දියුණු ගුවන්තොට හා නැවුතොට පැවතීම දියුණු සමාජයක ලක්ශණයක්වේ. සිද්ධාන්ත අනුව අපට යම්තම් හෝ මේවා ඇත. නමුත් අපි දියුණුද කියන ගැටලුව නිතරම මගේ මනසේ පවති.

අජිත් නිවාඩ් මහතා කෙතරම් ආර්ථික දත්ත සංසන්දනාත්මකව ඉදිරිප කලත් අපි ඉන්නේ කොයියම් මොහොතක හෝ පුපුරා යා හැකි මූල්‍ය සබන් බෝලයක් ඇතුලේය. රට තුල පවතින මුල්‍ය සංචිත පිලිබද ඇත්තේ අති භයංකර ආරංචි වෙයි. රට තුලට පැමිනෙණ ඩොලර් ප්‍රමාණයන්ට වඩා වැඩි සීග්‍රතාවයකින් රටතුලින් ඩොලර් ඉවත් වීම සිදුවෙයි.

කෙසේ නමුත් වරායන් හෝ මාර්ග, හෝ ඉදි කිරීම තුලදි රටක් ලෙස දරන අධික ප්‍රාග්ධන පිරිවැය අක්පියවා ගැනිමේ ක්‍රමවේද හෝ ආයෝජනය තුලින් කාර්යශම ගුණනීය ප්‍රති ලාභයක් ලබා ගැනීමට කුමන වැඩපිලිවෙලක් දියත්වන්නේ දැයි තේරෙන්නේ නැත. එසේම එහි මා දකින අප්‍රගතිය නම්, මත්තල ගුවන් තොට හා වරාය එකි ස්ථාන වලට කිසිසේත් නොගැලපීමය. මීට වඩා සංවේදි ස්ථාන ඔනෑ තරම් රට වටේ ඇති මුත් කගේ හෝ අවාසනාවට මෙය මෙසේ ඉදිකෙරිනි.

තවද දක්ශිණ මාර්ගය සදහා මූලික පිඹුරුපත් සදා ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් වන අතර, එම ඉංජිනේරු නිර්දේශ අධිස්ථාපය කරමින් ව්‍යපෘති භාර අයවලුන් ඔවුන්ගේ මතය මත මහා මාර්ගය් ඉදිකර ඇත. එහි අනිටු විපාක තව අවුරුදු 2කින් පමණ පසු දැක්මට ලැබෙනු ඇත.

මත්තල ගුවන් තොට දකුණට ගෙන ගොස් ඇත්තේ කුමන අරමුණකින්ද කියා දන්නේ නැත.කෙසේ නමුත් සංවර්ධනය ග්‍රාමීය මට්ටමට ගෙනයාම උදෙසා සුවිසල් ප්‍රාග්ධනයක් යෙදවීම නුසුදුසු බව මගේ හැඟිමවෙයි.

ලංකාව යනු පැහැදිලිවන ගෝලීය ලිබරල් ධනවාදය තුල තමන්ගේ ආර්ථික න්‍යායන් ගොඩ නගන රටකි. එය එසේ වන්නේ ප්‍රධාන ලෙස බටහිර, ආදි ධනේශ්වර සමාජ හා චීනය සිංගප්පුරුව, වැනි ආසියාතික ධනපති සමාජ පන්ති තුලින් අනවරතව සිදුවන උත්තේජය හා පෙලැබවීම නිසා බව මගේ කල්පනාව වෙයි.

කෙසේ නමුත් 70 දශකයේ පමණ හදුන්වා දුන් විවෘත ආර්ථික සංකල්ප නිසා ලංකාවේ ආර්ථික හැසිරවීම් අනවශ්‍ය ලෙස අන්තර්ජාතික කරණය විනි යැයි මා සිතමි.

Posted in කයිවාරු | එක් ප්‍රතිචාරයක්

පූජාච පූජනීයානං

මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් “අපි එකමුව” අපි ඔක්කෝම එකතු වෙලා දෙහිවල අත්තිඩියේ “සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමයේ” තමන්ගේ සදෑ සමය ගත කරන අපේම මවුපියවරුන් උදෙසා සත්කාර වැඩසටහක් කිරීමට තෝරා ගෙන තියෙනවා.

දිනය : අප්‍රේල් මාසේ 7 වැනිදා, ඉරිදා.

වේලාව උදෑසන : 10.30 සිට  4.30 දක්වා.

ස්ථානය : සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමය – අත්තිඩිය දෙහිවල.

සිංහල අලුත් අවුරුද්ද කියන්නේ අපි අලුත් වෙන කාලය. අපේ හැමදේම අලුත් අලුත් අවුරුද්දට අලුත් වෙනවා. කෑම බීම, ඇදුම් පැලදුම්, ගේදොර, සිතුම් පැතුම් මේ හැම දේම අලුත් වෙනවා. අලුත් අවුරුද්ද අරගෙන අවුරුදු කුමාරයා වඩින කන් අපි හැමෝම මග බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්. අලුත් අවුර්ද්ද වැඩිපුරම සතුටු වෙන්නේ පුංචි දරුවෝ. ඒ වගේම කයින් වැඩිමල් උනත් සිතින් කුඩා ලමුන් වගෙ ඉන්න අපේ ලොකු අත්තලා අත්තමලා අලුත් අවුරුද්දට පුංචි උන් එක්ක හරි හරියට විනෝද වෙනවා. අලුත් අවුරුද්ද අරගෙන සිදාදියේ ඉදලා අපි එනකං අපේ අම්මා අප්පච්චි මඟ බල බල ඉන්නේ ඇඟිලි ගැන ගැන. තමන්ගේ දරුවන්ගේ සතුටු සිනා බලන අපේ අම්මලාට, අපේ අප්පචිචිලාට අවුරුද්දේ වටිනාම දේ අපි ඔවුන් එක්ක ගත කරන කාලය.

දහමාසයක් නොවිදිනා දුක් විදපු අපේ අම්මා, අපිව මේ ලෝකේට බිහි කලේ තුන් ලෝකේවත් කෙනුකුට දරන්ඩ බැරි අපරිමාන දුකක් විදලා. ඒ මහා ශක්තියයි අපේ අම්මාගේ අපරිමාන සෙනෙහෙයි හින්දා ඇගේ ලේ ටික කිරි වෙලා අපේ බඩේ ගින්දර නිවලා දැම්මා. එහෙවු අපිව වදාපු අම්මා අපි උස් මහත් කලේ නේත්‍රා දෙක වගේ පරිස්සමට.

ඇගේ ලේ කිරි උනේ නැතත් අපේ අම්මාට හැම වෙලේම දහිරිය උනේ අපේ අප්පච්චි. අපේ අප්පච්චි ඇඟේ දහිරිය දාලා සමාජේ එක්ක, මහපොළොව එක්ක, ලෝකේ එක්ක හටන් කරේ අපේ කුස ගින්දර නිවන්ඩ. ඇස් දෙක පාදලා සමාජේ උන්දැලා නොදැක්ක මහතැන්ලා කරන්ඩ.

අපේ අම්මා , අපේ අප්පචි අපි වදන්ඩ, අපිව හදන්ඩ අප්‍රමාන දුක් ගන්ඩ ඇති. ලෝකයාගෙන් අනන්තවත් අවලාද අපවාද අහන්ඩ ඇති. ඒ හැම දේම කරේ අපිව රජුන් කරන්ඩ. දැන් අපේ අප්පච්චි වයසට ගිහින්. උන්දැට දැන් හරි හැටි වාරු නෑ. අපේ අම්මා ඉස්සර  කඩියා වගේ කොරපු වැඩ කොරන්ඩ හෝරාවක් දෙකක් යනවා. උන්දැට හිතේ විරිය තිබ්බට ගතේ සවිය අඩුවෙලා. උන්දැලාගේ මහා හයිය අපි. අලුත් අවුරුද්දට තැගි අරන් ගෙට එන අපි දකින අපේ අම්මා විගට ඇවිත් “මයේ පුතා ආවද” කියලා ඔලුව අතගානවා. අප්පච්චි හරි බරි ගැහිලා ඉදපු පුටුවෙන් නැඟිටලා එන්නේ මහා ආඩම්බරයකින්. පොඩි කාලේය නාවර පෙරාගෙන කලිසන් කොටයක් විතරක් ඇදන් දූවිලි නාපු ලේකැටියා අද සිදාදියේ මහතැන් කෙනෙක් කියන සිතිවිල්ල අපේ අප්පචිට රටක් රාජ්‍යයක් දින්නා වගේ. නැකැත් සීට්ටුව කොහොම උනත් අපේ අම්මටයි අපේ අප්පචිචිටයි එදාට අරුද්ද ලබනවා. ඔවුන්ගේ සතුට පුංචි පුංචි කඳුලු ගංගා වෙලා රහසේම ගලාගෙන යනවාඅ

ඒත්…,

මේ වාසනාව, මේ උණුහුම, මේ සතුට විද ගන්ඩ බැරි අම්මලා අප්පච්චිලා මේ සමාජේ කී දාහක් ඉන්නවද.. තමන්ගේ දරුවන් දැක සතුටු  කඳුලු හෙලන අපේ අම්මා, අපේ අප්පච්චි ඉන්න අපේ සමාජේ තමන්ගේ දරුවන් මැරෙන්ඩ කලින් එකපාරක් හරි දෑසට දැක ගන්ඩ නැති දුකින් ජිවිතේ පුරාවට කඳුලු බොන අම්මලා අප්පච්චිලා මොන තරම් ගින්දරක් තියාගෙන ඉන්නවා ඇතිද..!!!

අත්තිඩියේ සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමයේ ඉන්න ඒ වසසක උන්දැලාත් ඒ ගින්දරින් පිච්චි පිච්චි ඉන්නවා ඇති. තමන්ගේ දරුවෝ නැති සාංකාව වයසට ගිය හයිය අඩු හිත කොහෝම දරා ගන්නවා ඇතිද..!!!

අනේ අපිට පුලුවන් නම් ඒ කඳුලු අතරට සිහිල් පවනක් වෙන්ඩ, ඒ සුසුම් අතරට මල් සුවඳක් වෙන්ඩ, අනේ මොහොතකට හරි ඒ හිත් හිනාවේවි, මොහොතකට හරි ඒ හිත් සැනසේවි. අපේ අම්මට, අපේ අප්පච්චිට තියෙන ණය ගෙවන්ඩ මේ දේ මහා පාරමිතාවක් වෙවි.

මේ සැරේ සිංහල අවුරුද්දට අපි යමු ඒ දෙමාපියන්ට අක්දරුවෝ වෙලා. මොහොතක් හරි වියපත් වෙලා නහර පෑදිලා තියෙන අත්දෙක අල්ලා කතා කරලා එමු. අපි අපිට කරන්ඩ පුලුවන් යුතු කම ඉටුකරමු.

ෆේස්බූක් එකේ, සයිබර් අවකාශයේ, ගතකරන පුංචි ඉසඹුවක් ඔවුන්ගේ සතුට වෙනුවෙන් පුද කරමු.

මතකයි නේද දිනය අප්‍රේල් මාසේ 7 වැනිදා, එදා ඉරිදා දවසක්. වේලාව උදෑසන  10.30 ඉදලා  4.30 විතර වෙනකන්.

අනේ එදාට එන්ඩ. මොකද අපි එනකන් උන්දැලා මහා බලාපොරොත්තු කන්දක් තියාගෙන මඟ බලාගෙන ඉන්නවා.

ඔයාලා කොහොමද මේ වැඩේට සහයෝගය දක්වන්නේ.

වටිනාම දේ එදාට එන එක. ඇවිත් ඒ වයසක අම්මලා අප්පච්චිලා එක්ක වචයක් දෙකක් කතා කරන එක. ඒ දේ හරිම වටිනවා.

ඊට අමතරව අපි ඒ ස්ථානයට “ද්‍රව්‍යමය” පරිත්‍යාග කීපයක් කරන්ඩ බලා පොරොත්තු වෙනවා. ඔයාලටත් හැකි අවුරින් ඒකට එකතු වෙන්ඩ ඇහැකියි.

“ඉස්සරහට එන්නේ අවුරුදු කාලේ. අවුරුදු කාලේ කඩ සාප්පු වහලා. මිනිස්සුත් ගම් රටවල ගිහින්, දායනයක්වත් දෙන්ඩ කවුරුත් නෑ. අනේ මහත්තයා පුලුවන් නම් අපේ අයට කන්ඩ බොන්ඩ යන අඩු වැඩිය දෙන්ඩ පුලුවන් නම් හරි වටිනවා”

මෙහෙම කිවුවේ එතන හිටපු පාලක ඇත්තෝ. ඉතින් ඒ හින්දා අපි හිතුවා අවුරුදු මාසේ පුරාවට ඔනෑ කරන අඩුම් කුඩුම ටික පුලු පුලුවන් විදිහට ගෙනිහින් දෙන්ඩ. පහලින් තියෙන්නේ මාසයකට ඔනෑ කරන බඩු ලැයිස්තුව,

එතැන ඔක්කොම ඉන්නේ තිස්දෙන්නයි (30) ඒකෙන් අම්මලා දාසයයි (16) අප්පච්චිලා දාහතර දෙනයි (14)

වියලි අහාර ලැයිස්තුව (මසක් සදහා )

1 හාල් සුදු කැකුළු  –  25Kg

2 රතු කැකුළු  –  25Kg

3 සම්බා  –  25Kg

4 පරිප්පු  –  25Kg

5 සීනි  –  25Kg

6 කඩල  –  25Kg

7 මුං ඇට  –  25Kg

8 කවුපි  –  25Kg

9 අල  –  25Kg

10 බී ලූණු  –  25Kg

11 පාන් පිටි  –  25Kg

12 හාල් පිටි  –  25Kg

13 සොයා මීට්  –  25Kg

14 නූඩ්ල්ස්  –  25Kg

15 රතු ලූණු  –  10Kg

16 සුදු ලූණු  –  10Kg

17 තේ කොළ 5KG

18 “ඇන්කර්” කිරිපිටි පැකට්  –  15 ( 1 Kg )

19 බොන්ලැක් කිරිපිටි පැකට්  –  5  ( 1 Kg )

තුනපහ සහ කුළුබඩු වර්ග (මසක් සදහා )

1 මිරිස් කුඩු  –  5Kg

2 කෑලි මිරිස්  –  5Kg

3 තුනපහ කුඩු  –  5Kg

4 ගම්මිරිස්  –  3Kg

5 දිය ලුණු කැට  –  20Kg

6 ලුණු කුඩු කැට  –  5Kg

7 කහ  –  1Kg

8 අබ  –  1Kg

9 උළුහාල්  –  1Kg

10 ගොරකා  –  1Kg

11 කුරුඳු පොතු  –  500g

12 පොල් ගෙඩි  – 200

13 එළවළු තෙල්  –  20 ලීටර්

මීට අමතරව

ප්‍රථමාධාර පෙට්ටි සදහා අවශ්‍ය

1 බෙටඩින්

2 සැවලෝන් ( හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්  )

3 ප්ලාස්ටර්ස්

4 ගෝස්

5 කපු පුලුං

6 පැරසිටමෝල්

7 සේලයින් ( 8% සෝඩියම් ක්ලෝරයිඩ් )

9 වින්ටගිනෝ ආලේපය

10 සිද්ධාලේප

11 සොෆ්‍රමයිසීන් ආලේපය (Soframycine Cream)

12 වින් ආලේපය (Win Cream)

13 අසමෝදගම් ස්පිත්තු

14 අල්මිරල් ජෙල් ආලේපය (Almiral Gel)

තවද

1 සිද්ධාර්ථ තෛලය

2 නාරායන තෛලය

3 හිසට දැමිය තෙල් වර්ග

4 ඇඟ පත වේදනාවට ගෑමට සුදුසු තෙල් වර්ග

5 ඕඩිකොලෝන්

ආදීය අප ලබා දීමට සැලසුම් කරලා තියෙනවා. ඔයාලට කැමති විදිහට, පුලු පුලුවන් අකාරයට මේ ද්‍රව්‍ය ලබා දෙන්ඩත් පුලුවන්.

විදේශ වල සිටිමින් අපට උදවු කිරීමට කැමති අපේ මිතුරු මිතුරියන්ට ලංකාවේ තියෙන “කප් රුක” හෝ කාගිල්ස් ආයතනයේ ඔන්ලයින් සේවාව ලබා ගන්ඩ පුලුවන්. ඒ පිලිබද විසතර අවශ්‍ය අය ඇතොත් මට පැහැදිලි කරලා දෙන්ඩ පුලුවන්.

වැඩ සටහනේ විස්තරය

https://www.facebook.com/groups/we.unity/permalink/519082628129915/

පරිත්‍යග කරන ද්‍රව්‍ය ලැයිස්තුව

https://docs.google.com/spreadsheet/ccc?key=0AtkyueQt745xdHV4NkM5UHMxanJZaElYakg2NmRUYlE#gid=0

 

Posted in දැන්වීම් | Tagged | එක් ප්‍රතිචාරයක්

විවාහය, “වෙඩින්” හා නාගරික පන්නය

4659138204_7f1c7a2de7_m

විවාහයක් යනු ගැහැනු පිරිමි දෙපාර්ශවයටම ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි. බටහිර නව්‍යකරණවාදයට හා ජනප්‍රිය සංස්කෘතියට විවාහය යනු “සැනෙකෙලියකි”.

මෙම සැනෙකෙලියක් වු විවාහයෙන් සතුටුවන්නේ, කැමරාකාරයන්, හෝටල්කාරයන්, හැඩ වැඩ කරන රූපලාවන්‍ය කාරයන් වැනි විවාහ වැනි උත්සව නිසාම ඇති වු කලුකඩ කාරයන් වේ.

අද වන විට සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක් සදහා නුවර හෝ කොළඹ ආශ්‍රිතව හෝටලයක අවම පහසුම් යටතේ පූර්ණ විවාහයක් ගැනීමට මිලියනයක් පමණ වැයවේ. මෙය මහා තකතීරු වැඩකි.නිස්කාරනයේ මුදල් කාබාසිනියා කිරීමකි.

ලංකීය සංස්කෘතියේ විවාහය යනු “මංගල” කරුණකි. විශේෂයෙන් උඩරට පැති වල විවාහ චාරිත්‍ර ඉතා අලංකාරය. මාද උඩරට ඉසවුවේ නිසා, එම චරිතර ධර්ම හොදින් පත්තියම් පහු කොර ගෙන ඇත.

මගුල්දා හරි උත්සව ඇත. දෙපාර්ශවයේම හතර වරිගෙම ඇත්තෝ එදාට මගුල් කෑමට එති. දැනමුතු වැඩිහිටි ඇත්තන් සහිත මහා සභාවක් මැද දෙන්නා විවාහ වෙති. අෂ්ටක, සෙත් ගායනා මෙන්ම, උපහැරණද එහිදි ඔව්නට ලැබේ.

එය මහා සංස්කෘතික උත්සවයක්….!!!

පොරුවේ සිට දායාද දක්වා සියලු දේ කරනුයේ හතරවරිගේ උන්දැලාගේ මහන්සියෙන්ය. මීට වසර ගානකට පෙර මා පුංචි අම්මාගේ මඟුල දැකීමෙන් පසු සාම්ප්‍රදායික “මගුලක්” දැක්කේද නැත. ඥාතිවරු කීප පොලක් “වෙඩින්” ගත් අතර එය හුදු මාන්නය පෙන්වීමට කරන ලද විකාර මගුලක්ය.

අද ඇත්තේ මගුල් නොව “වෙඩින්ය”.

එවා ප්ලෑන් කිරීමට ආයතනද ඇත.මෙවැනි තුප්පැහි අසික්කිත සංස්කෘතියක් ආවේ කොයිද..?

පැහැදිලිවම බටහිරින්. මගුල් දිනය වෙඩින් දිනයක් කර ඇත්තේ ඔවුන්ය. මේ සමගම සමහරක්ගේ ජීවන උපාය ලෙස මෙම වෙඩින් පත්වී ඇත. සමහරක් සැදි පැහැදී ඉන්නේ වෙඩිමේ රූප ගන්නා කැමරාකාරයා වීමටය. ඇතැමුන් එය අද “මංගල උත්සව ඡායාරූප කරන කලාව” ලෙසද හදුන්වයි. අනෙක් උන් නම් අදුම් ආයිතම්, රූප සොබාව ගැන හොයන උන්ය. තව කෑම හදන උන්, ආරාධනාපත් හද උන් එමට. මේ හැම එකක්ම කිරීමට ඒජන්සිද ඇත.

මා නිතරම කියන දෙයක් නම් අප නිශ්පාදන ආර්ථිකයෙන් බැහැරව පරිබෝජන ආර්ථිකයකට ගොස් ඇති බවය.අපගේ සෑම් ක්‍රියාවකම ඇත්තේ එම පරිබෝජනවාදි සංකල්පම පමණි.

පුංවිඅම්මාගේ මගුල් පෝරුව හැදුවේ අපිය. රෑ නිදිමාරගෙන පොල්කොල, තල් කොල, කිතුල් රෑන් ආදි නා නා ස්වභාවික දේ යොදා ශ්‍රමය හා හැකියාව පමණක් යොදා මනරම් පෝරුව සැදීම අදටත් මතකය. එදා රෑ අපි කල කී දෑ තවමත් අපිට මතකය. නමුත් අද පරපුරට එවැනි සංස්කෘතියක් නැත. දැන් පෝරුද “සේල්” දමා ඇත. සංස්කෘතිය ගැන හාංකවිසියක් දන්නේ නැති අලුගුත්තේරු තරුණ පරපුරක් අද බිහිවී ඇත.

එදා මානාලිය කැන්දා ගෙන නිවාසයට ආවාට අද ඇත්තේ “හෝම් කමිං” ය. පෝරුවට නැගීමට ප්‍රථම වෙඩින් රූපය මල්වඩමක් සේ පෝරුව ලඟ තබා තිබෙනු මා දැක ඇත. මගුල් දා පලමු වරට යමෙකු මනාලිය දුටුවා නම්, වෙඩිමෙන් පසු ඔහුට හෝ ඇයට කිසිම අයුරකින් මානාලිය හදුනා ගැනීමට හැකි නොවේ. මූණේ ඒ තරමට හුණු උලා මනාලිය එම්බාම් කර ඇත. පිපාසයට අද දෙන්නේ සිනි වලින් සංතෘප්ත වු “ජූස්” එකක්ය. දවල් බත් එකේ “ඩෙවල්” කරන ලද කොස් ඇත. කිරි කොස් නැත. උදෑසන මුල් ඇදුවෙන් සිටි මනාලයා හවස තවත් මොකක්දෝ කුරුතාවක් පටලාගෙන ඇත. අවසානයේ යහලුවන්ගෙන් අම්බානක ගුටි කා කපල් එක හනිමූන් යති.

මෙවා සුන්දරයි යැයි කියන්නේ වෙඩින් දැක ඇති අය මිසක “මගුලක්” ඇහැටවත් දැක නැති උදවියයි.

ඉතිහාසය, සංකෘතිය, ජාතිය හා රට පිලිබද අපි මීටවඩා හැදෑරිය යුතු කාලය පැමිණ ඇත. “හාලාල්” වර්ජනය මෙන්ම “සිංහල” බෞද්ධ සංස්කෘතිය රැක ගැනීම සියලූම නූතන සිංහල බෞද්ධ තරුණ තරුණියන්ගේ වගකීම මෙන්ම යුතුකමක්ද වෙයි.

මෙය වටහා මෙයින් අතික්‍රමනය කරන තෙක් අපට ආසියාවේ තබා මට්ටක්කුලියේවත් ආශ්චර්යයක් ද දැකිය හැකි නොවේ.

-උමන්දා ජයෝබණ්ඩාර

Posted in කයිවාරු | Tagged , , , | ප්‍රතිචාර 2

Android ක්‍රමලේඛණය ආරම්භක පාඩම (ඇන්ඩ්‍රොයිඩ් ස්ථාපනය )

පෙර ඇන්ඩ්‍රොයිඩ් ක්‍රමලේඛණය සම්බන්ද ලිපියෙන් මා ඇන්ඩ්‍රොයිඩ් යනු කුමක්ද, එහි භාවිතාව කුමක් සදහා ද ආදී කොට ගත් සරළ හැදින්වීමක් කරනු ලැබුවා. මෙම ලිපිය තුලින් මා බලාපොරොත්තු වන්නේ ඇන්ඩ්‍රොයිඩ් ක්‍රමලේඛනය සදහා අවශ්‍ය මෘදුකාංග හා අනෙකුත් සැකසීම් කර ගනිමින් ඔබගේ පරිඝණකය ඇන්ඩ්‍රොයිඩ් ක්‍රමලේඛනයට සහය දක්වන අයුරුන් සකසා ගන්නා ආකාරය සාකච්ඡා කිරීමයි.

මාගේ පරිඝණකය වින්ඩොව්ස් 8 නැමති මෙහෙයුම් පද්ධතිය මත ධාවනය වන බැවින් මගේ පැහැදිලි කිරීම් වින්ඩෝව්ස් මෙහෙයුම් පද්ධතිය සදහා වෙයි. ඔබගේ වින්ඩෝව්ස් මෙහෙයුම් පද්ධතිය Windows xp හෝ ඉහල මාදිලියක් හෝ විය යුතුයි (, windows 7 , windows 8)

ලිනක්ස් (Ubuntu, Fedora, CentOS, Mandriva)පාරිසරිකයේ හෝ, අයිඕස් පාරිසරිකයන් භාවිතා කරන අය වෙත් නම් ඔවුනට මා පසුව සැකෙවින් විමසා සිටියොත් පමණක් ස්ථාපනය පිලිබද පැහැදිලි කිරීම් කිරීමට බලාපොරොත්තු වෙනවා.

අප දැන් පියවරින් පියවර ඇන්ඩ්‍රොයිඩ් පාරිසරිකය සකසා ගන්නා අන්දම සාකච්චා කරමු.

ඇන්ඩ්‍රොයිඩ් පාරිසරිකය පහත දේවල් වලින් සමන්විත වෙනවා. අප කරනුයේ එම දේවල් නිවැරදිව එකිනෙක හා ගලපා ගනිමින් ස්ථාපනය කිරීමයි.

ජාවා සංවර්ධක කට්ටලය  JDK (JAVA  Development KIT)
http://www.oracle.com/technetwork/java/javase/downloads/index.html

eclips (කේත් ලිවීමේ මෙවලම )
http://www.eclipse.org/downloads/

ඇන්ඩ්‍රොයිඩ් සංවර්ධක කට්ටලය ADT (Android Development KIT)
http://developer.android.com/tools/sdk/eclipse-adt.html

කලින් ලිපියේ මා සාකච්චා කල අයුරුන් මාගේ ඇන්ඩ්‍රොයිඩ් ක්‍රමලේඛන පාඩම් මාලාව සදහා මා යොදා ගනු ලබන්නේ ජාවා ක්‍රමලේඛණ භාෂාවයි. එම නිසා පලමුව ඔබ ඔබගේ පරිඝනකයේ නිවැරදිව ජාවා පාරිසරිකය සකසා ගතයුතුයි. මා මීට ඉහත ජාවා ක්‍රමලේඛණය පිලිබද ලිපි පෙලේදී ජාවා නිවැරදිව වින්ඩෝස් පාරිසරිකයේ සකසා ගන්නා අන්දම පැහැදිලි කරනු ලැබුවා.

පහත මම දක්වම මෙම ලින්ක් එකට ගොස් එම ලිපිය බලා ඔබට ජාවා ස්ථාපනය කර ගන්නා අයුරු ඉගෙන ගත හැක. මා වින්ඩෝස් එක්ස් පී සදහා ඉදිරිපත් කරන ලද ලිපියක් උනත්, අනෙකුත් වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති සදහාද එම ක්‍රමයම අනුගමනය කල හැකි වෙයි.

JAVA භාෂාව ආරම්භක පාඩම- java ස්ථාපනය (01 – 2)

දැනට භාවිතා වන්නේ ජාවා 1.7 සංස්කරනය වන අතර මා දක්වා ඇත්තේ ජාවා 1.6 සංස්කරණය ස්ථාපනය කරන ආකාරයයි. නමුත් එහිද කිසිදු වෙනසක් ඇත්තේ නැ. ඔබගේ පරිඝනකයේ දැනටමත් ජාවා පාරිසරිකය ඔබ සාදා තිබේ නම් ඔබට ඉහත ක්‍රියාව අත් හල හැකිවෙයි.

නිවැරදිව ජාවා පාරිසරිකය සැකසීමෙන් පසු ඔබ කලයුත්තේ ඇන්ඩ්‍රොයිඩ් පාරිසරිකය හා ක්‍රමලේඛණ මෙවලම් සකසා ගැනීමයි.

මෙහිදි අප කියන eclips එක IDE (Integrated Development Environment ) යොදා ගැනීම කර ගනු ලබනවා. එය විවෘත කේත (Open Source) වන අතර නොමිලේ ලබා ගත හැකි කකි.

පසුව ADT නමින් ඉහත හැදින්වු ඇන්ඩ්‍රොයිඩ සංවර්ධක කට්ටලය සැකසීම කලයුතුයි.

නමුත් යම් අයෙකුට වෙන වෙන ආකාරයෙන් ස්ථාපනය කිරීමට අවශ්‍ය නම් කල යුතුවන්නේ පලමුව eclips ද දෙවනුව ADT කට්ටලයද බාගත කර ගෙන (ඉහත ලබා දුන් ලින්ක් භාවිතා කරන්න )  eclips සදහා ප්ලගිනයක් (plugin) ස්ථාපනය කරන ආකාරයට ADT කට්ටලය eclips වලට ඈදීමයි.

1 Open eclips
2 Help > Install New Software
3 Work with => Add
4 Name (i.e. ADT)
5 Archive (Click)
6 බාගත කර ගත් ADT ගොනුවේ මාර්ගය ලබා දී OK ලෙස ලබා දෙන්න. පසුව එය ස්ථාප්නය වන අතර සියල්ල අවසානයේ eclips ප්‍රතිපණ ගන්වන්න.

පහත රූපය තුලින් ඔබට මෙය තවත් පැහැදිලි වනු ඇත.

1

මෙම ක්‍රමය ටිකක් කරදර කාරි බැවින් ආධුනිකයන්ට පහත ක්‍රමය ඉතා පහසු යැයි මා සිතමි.

පලමුව පහත ලින්ක් එකට ගොස්  download the Android SDK කියන ස්ථානයෙන් Android SDK කට්ටලය බාගත කර ගතයුතුයි.

http://developer.android.com/tools/index.html

2

පසුව ලැබෙන ගොනුව විහිදුවා ගන්න. (UnZIP).එහිදි ඔබට පහ ආකාරයට ගොනු හා ඩිරෙක්ටරි ලැබෙනු ඇත.

3

පසුව eclips යන ඩිරෙක්ටරිය තුලට ගොස් එහි ඇති eclips.exe ගොනුව මත දෙවරක් ක්ලික් කොට eclips ධාවනය කරන්න.

ලැබෙන වින්ඩොව සදහා OK විධානය ලබා දෙන්න.

සියල්ල නිවැරදිව සිදුවුනි නම් ඔබ ඇණ්ඩ්‍රෝයිඩ් පාරිසරිකය සකසා අවසන්. ඔබට පහත වින්ඩොව්ව ලැබිය යුතුයි. මීලඟ පාඩමින් අප කේතනය අරඹමු.

4

Posted in Android ක්‍රමලේඛණය | Tagged , , , , | ප්‍රතිචාර 4

Android ක්‍රමලේඛණය ආරම්භක පාඩම (හැදින්වීම)

දිනෙන් දින මොහොතින් මොහොත තාක්ශය දියුණු වෙමින් පවති. ඊයේ පැවති තාක්ශය වඩාත් උසස් අයුරින් අද දිනයේ අපවෙත ලැබෙයි. අප අද තාක්ශණයේ මහා විප්ලවයක කොටස් කරුවෝ වී එහි හොද නරක විවිධ අනුපාතයන්ගෙන් භුක්තිවිදමින් සිටින්නෝ වෙමු.

ශ්‍රි ලංකාවේ තොරතුරු තාක්ශණයේ විප්ලවීය අවධිය පසුගිය දෙදහ දශකය යැයි කීවාට මා වැරදි නොවනු ඇත. අන්තර්ජාල තාක්ශණයන් හා සන්නිවේදන තාක්ශණයන් මෙකල දී බොහෝ කතා බහට ලක්වු හා සමාජ ගත වු කාරනා, සංකල්ප වූහ. ඉතා සීඝ්‍රයෙන් තොරතුරුතාක්ශය හා එහි උපයෝගීතාවයන් සමාජ ගත වු අතර ආර්ථිකමය ලෙස තොරතුරු තාක්ශණය හා ඒ හා අදාල සම්පත් හා සම්පත් පුද්ගලයන්ට වඩා වැඩි අවස්ථාවන් හා වටිනාකම් ලැබෙන්නට විය. අද වන විට එය ඉතා විශාල මට්ටමෙන් ප්‍රචලිත වී ඇත.

mobile_device_image3

මේ අතර කරලියට ආ අලුත්ම මාතෘකාව වූයේ “ජංගම උපාංග” නැති නම් [Mobile Devices ] යන්නයි. මෙතෙක් කල් මේසයත් පුටුවත් තබා ගනිමින් ලෝකය සමග සම්බන්ද වු මිනිසා, එයින් මිදි අත්ල මත සිටිමින් ලෝකය හා සහසම්බන්ද වීම පටන් ගන්නා ලදි. මේ අනුව “ජංගම උපාංග” වෙනදාට වඩා අද බොහෝ දෙනා අතර ජනප්‍රිය වෙමින් පවති.

ජංගම උපාංග සැලකූ විට ඒවා විවිධ කාර්යන් සදහා විවිද අයුරින් සාදා ඇත.

ජංගම දුරකථන (iPhone, Nokia, Samsung,HTC,LG,Sony Ericson)
ටැබ්ලට් උපාංග (iPad, Amazon Kindle, Android Tab, )
වොල්ක්මන් ආදි ගීත ධාවක (iPod,)

ආදිය වඩා ජනප්‍රිය කාන්ඩ වෙයි. විවිධ නිශ්පාදකයන් තමන්ගේම වෙළද නාම වලින් ඉහත කාන්ඩ සදහා උපාංග නිපද වීම කරනු ලබයි.ඒ ඒ නිශ්පාදකයා යොදා ගන්නා තාක්ශනය අනුව එම උපාංග වල ගුණ අගුණ මෙන්ම උචිත අනුචිත බවද තීරනය වෙනු ලැබෙයි. ඉහත සදහන් කල පරිදි ඉහතින් දැක්වු උපාංග වර්ග යම් නිශ්චිත අවශ්‍යතාවක් උදෙසා නිපදවා ඇත. ඒ අනුව බහුතරයක් දෙනා එම පහසුකම් නිසි ලෙස යොදා ගනිමින් තමගේ අවශ්‍යතා වඩාත් නිර්වද්‍යය ලෙසත් කාර්යශම ලෙසත් සිදුකර ගනු ලබයි.

නමුත් ඇතැම් අය විලාසිතාවන් සදහා හෝ සමාජය තුල තමන්ගේ තත්වය හෝ ප්‍රතිරූපය ඉස්මතු කර පෙන්වීමට පමණක් මෙම වටිනා උපාංග යොදා ගනු ලැබෙයි. කොටින්ම කියතොත් නූතනයේ ඇතැම් තරුණ දරු දැරියන් විලාසිතාවට මෙම තාක්ශණික උපාංග යොදා ගනු ලැබෙයි.

මෙහිදි ලංකාවේ තරුණ දරු දැරියන්ගේද තත්වය එලෙසම වී ඇත. ඇතැම් විට අනෙක් යුරෝපීය රටවලට වලටත් වඩා ඔවුන්ගේ එම තේරුමක් ඵලයක් රහිතව මෙම තාක්ශනණික උපාංග භාවිතාව වැඩියයි මා සිතමි.

මෙයට හේතුවන කාරනා බොහෝ ඇති අතර එවැනි දෑ සාකච්චා කරනු ලබන දේශපාලණික හෝ සමාජවිද්‍යාත්මක ලිපි පෙලක් නොවන බැවින් ඒ සදහා මා මෙම ලිපි මාලාවේ අවකාශයන් යොදා ගැනීමට පෙලෙබෙන්නේ නැත.

කෙසේ නමුත් අප නූතන තාක්ශණයන් යාවත්කාලීන [Update] වීම සිදු නොවන තරම්. එනම් අපි සතුව ඇත්තේ පරණ වු දූවිලි ගැසුන දැනුමක්. ඉහත කී පරිදි දැනුම අපට නිසි පරිදි නොලැබිම සදහා හේතු බූත කාරනා බොහෝ නම් තිබේ. කෙසේ නමුත් අප සතුව ඇති දැනුම හෝ සිංහල සමාජය තුල කොතරම් ප්‍රචලිත වන්නේද කියන දේ තවත් අතකින් සොයා බැලිය යුතු දෙයක්.

ඒ කෙසේ නමුත් මා, මා සතු දැනුම මෙසේ හෝ බෙදා දීමට තැත් කරනුයේ එම සමාජ ඉල්ලුම මට තදින් දැනෙන නිසා විය යුතුය. ඒ අනුව මගේ මවු බස වෙච්ච “සිංහල” බස මා හැමවිටම ඉගැනිවීම් කටයුතු හා මා සතු දැනුම  බෙදා දීමට යොදා ගනිමින් ඉංග්‍රීසි නැමති විජ්ජාවේන් මුලා වෙලා වෙලා ඉන්න සිංහල දත් , සිංහලට ලැදි ඈවලුන්ට බෙදීමට මා බොහෝ කලක සිට දත කමින් ඇත. ඒ අනුව මා විවිධ තෝරතුරු තාක්ශණික විශයන් අලලා පාඩම්  මාලවන් හා ලිපි ලියා ඇති අතර, මෙම “ඇන්ඩ්‍රෝයිඩ් සදහා ක්‍රමලේණ ලිවීම”  නැමති පාඩම් මාලව එහි තවත් පියවරක් වෙනු ඇත.

පංති කාමරයක් තුලදි හෝ දේශන ශාලාවක් තුලදි සිසුනට ඉගැන්වීම තරමක අභියෝගයක් වෙයි. නමුත් ලමුන් හා උරෙන් උර එම මොහොතේම ගැටෙන නිසා වඩා සාධනීය ඉගැන්වීමක් කල හැකි බව මා දනිමි. නමුත් ලිපි මාර්ගික හෝ නිබන්ධන, පොත් පත් මගින් හෝ එලෙස ඉගැන්වීමේ ක්‍රීයාවක් සිදු කිරීම පහසු නැත. එහිදි ගුරුවරයා හා සිසුන් අතර ඇති සම්බන්ධය බොහෝ දුරස් මෙන්ම අවිනිශ්චිය බැදීමක්. එහිදි සාම්ප්‍රදායික ඉගැන්වීමේ ක්‍රම ශිල්ප වලින් ඉගැන්වීම කල හැකි නොවෙයි. ඒ සදහා ලේඛණය හා බස හැසිරවීම මනා කොට කල යුතුය. මා ඒ සදහා කෙතරම් සුදුස්සෙක්ද කියා මා දන්නේ නැත. නමුත් මා පෙර ලැබු අත්දැකීම් ගුරු කොට ගනිමින් අවැසි සියලු දේ රස බසින්, සරළව ලිවීමට උත්සහ කරමි. පාඩම් මාලාවන් හි ගුණාගුන කියවන්නෝ තීරණය කරනු ඇත.

hurricane-sandy-forces-google-to-cancel-android-event-5728e11778

ඇන්ඩ්‍රොයිඩ් යනු කුමක්ද..?

ඇන්ඩ්‍රොයිඩ් යනු ගූගල් (https://www.google.com/) සමාගම විසින් සංවර්ධනය කරනු ලැබු ජංගම උපාංග සදහා වන මෙහෙයුම් පද්ධතියක් ලෙස සරලව අර්ථ කථයක් ලබා දෙන්ඩ පූලුවන්. අපි අපේ පරිඝණකයේ ක්‍රියාව සදහා වින්ඩෝව්ස්, ලිනක්ස්, මැක්, ආදි නම් වලින් යුත් මෙහෙයුම් පද්ධතීන් යොදා ගන්නා අතර ඇන්ඩ්‍රෝයිඩ් යනු එවැනි, නමුත් “ජංගම උපාංග සදහාම විශේෂිතව” සැදු මෙහෙයුම් පද්ධතියක් වෙනවා. මෙය නොමිලේ ලබා දෙනු ලබන “විවෘත මෘදුකාංගයක්” වෙනවා.

ගූගල් සමාගම විසින් ලබා දෙනු ලබන ඇන්ඩ්‍රොයිඩ “පැකේජය” තුල ජංගම මෙහෙයුම් පද්ධතියත්, එයට අදාල මෘදුකාංග එකතුවකුත් ඇතුලත් වෙනු ලැබෙනවා.

ඇන්ඩ්‍රොයිඩ් යොදා ගැනෙන්නේ කුමන උපාංග තුලද..?

ජංගම දුරකථන
ටැබ්ලට් උපාංග
රූපවාහිණි යන්ත්‍ර

මේ පාඩම් මාලාව කා සදහාද..?

මෘදුකාංග සංවර්ධකයන්ට
ආධුණික “ජංගම උපාංග සංවර්ධකයන්ට”
පාසැල් මෙන්ම විශ්ව විද්‍යාවල සිසුන්ට
තොරතුරු තාක්ශනය උගන්වන පාසැල් හා පුද්ගලික ආයතන වල ගුරුවරුන්ට
ජංගම උපාංග සදහා මෘදුකාංග ලිවීමට කැමති ඇත්තන්ට

මෙම පාඩම් මාලාව බොහෝ ලෙස මුල් වෙනවා.

මේ පාඩම් මාලාව සාර්ථකව තේරුම් ගැනීමට කියවන්නා සතුව කුමක් තිබිය යුතුද..?

පළමුවෙන්ම කිව යුතුයි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සදහා මෘදුකාංග ලිවිම සදහා යොදා ගනු ලබන්නේ ජාවා (JAVA) ක්‍රමලේඛන භාෂාවයි. එබැවින්

මෘකාංග සංවර්ධනය, එහි ක්‍රම ශිල්ප හා විශේෂයෙන් එහි යෙදෙන පාරිභාෂික වචන ගැන ඇති දැනුම,
ජාවා ක්‍රමලේණය ගැන සාමාන්‍ය හෝ දැනුමක්,
සරළ ගණිතමය සංකල්ප ගැන දැනුමක්,
වස්තු මූල සංවර්ධනය (Object Oriented Programming ) ගැන දැනුමක්,
ගැටළු විසදීමේ හැකියාව හා නිර්මානාත්මකව සිතීමේ හැකියාව  යන සාඛ්‍යතා කියවන්නා සතුව ඇති නම් ඔබට මේ පාඩම් මාලාව හරහා සාර්ථක භාවයක් ලබා ගත හැකි වනු ඇතැයි මා විශ්වාස කරනු ලබනවා.

ඇන්ඩ්‍රොයිඩ් සංවර්ධනය සදහා යොදා ගත හැක්කේ ජාවා පමනමද..?

නැත. ඇන්ඩ්‍රොයිඩ සංවර්ධනය සදහා C/C++, C#.Net වගේ පරිඝණක භාෂා යොදා ගන්ඩ පුලුවන්

ඇයි එහෙනම් ජාවා යොදා ගන්නේ..?

මෙයට හේතු කීපය්ක් තියෙනවා. ඒ අතරින් පහත කරුණු විශේෂ වෙනවා

  • ජාවා කියන්නේ අපි කවුරුත් දන්න ඉතා ජනප්‍රිය ,හැසිරවීමට පහසු ක්‍රමලේඛ්න භාෂාවක්.
  • ජාවා ක්ලාස් ගොනු ධාවනය වෙන්නේ ජේ.වී.එම් කියන එහෙම නැති නම් ජාවා වර්චුවල් මැෂීන් කියන ස්තරය උඩනේ. ඒ හින්දා අපිට හැම දුරකථනයකටම නැවත නැවත කම්පයිල් කරන්ඩ ඔනැ වෙන්නේ නෑ.

උදාහරනයකට මම හදනවා සරල ඝණක යන්ත්‍රයක්. මම එක සැරයයි මගේ මූල කේත (සෝර්ස් කෝඩ් ) කම්පයිල් කරන්නේ.ඒ කම්පයිල් කරපු ඒ.පී.කේ (හරියට .exe වගේ ගොනුවක් ) තමා මම මගේ සැම්සුන් මාදිලියට, HTC මාදිලියට, LG මාදිලියට භාවිතා කරන්නේ. ඒක විශාල පහසුවක්. මෙහෙම වෙන්නේ මම මුලින් කිවුවා වගේ ජාවා ධාවනය වන්නේ ජේ.වී.එම් එකක් තුල වීම හා සෑම දුරකථනයකම වාගේ ජේ.වී.එම් එකක් තිබීම නිසා.

  • ඒවගේම තමා ආරක්ශනය. මෘදුකාංග සැදීමේදි එහි ආරක්ශාව පිලිබද අපි ගොඩාක් සැලකිලිමත් වෙනවා. ජාවා කියන්නේ ආරක්ශාව අථින් ඉහල භාෂාවක්
  • ඒ වගේම තමා ජාවා සදහා අතිවිශාල සංවර්ධක යෙදවුම්, සම්පත් පුද්ගලයන්, ඉතා සුලභව තියෙන්වා. අති බහුතරය විවෘත මෘදුකාංග සංකල්පය මත පිහිටලා තමා ඒවා බෙදා හරින්නේ. එය ඉතාම හොද දෙයක්
  • ඒවගේම ජාවා යොදා ගැනීම තුලින් memory leaks, bad pointer usage වගේ නේටිව් කේත මගින් ලබා දෙන කරදර බාධක ඉවත් වෙනවා.

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙන් බල ගැන්වෙන ජංගම දුරකථයක් හෝ ටැබ්ලට් උපාංගයක් ඔබ මේ වනවිටත් භාවිතා කර ඇති බවට මා විශ්වාස කරනවා. එම නිසා ඔබ ඇන්ඩ්‍රොයිඩ් හි බාහිර හැසිරීම හා ක්‍රියා පිලිවෙත ගැන යම් අවබෝයක්ද ඇතැයි සිතනවා. උදාහරන ලෙස ඇමතුම ගැනීම, කෙටි පණිවිඩයක් යැවීම, පද්ධතියේ ඇතැම් සැකසුම් වෙනස් කිරීම (system settings), මෘදුකාංග ස්ථාපනය (Install) හා අස්ථාපනය (Uninstall) ආදිය දැක්විත්ය හැක.නමුත් ඇන්ඩ්‍රොයිඩ් සදහා මෘදුකාංග ලියන ක්‍රමලේඛකයෙකු හට ඊට වඩා ඇන්ඩ්‍රොයිඩ් ගැන, එහි නිර්මාණය ගැන, හා එහි අභ්‍යන්තර ක්‍රියා පිළිවෙල ගැන යම් දැනුමක් තිබිය යුතුයි. අප තාක්ශණිකව Software Architecture (මුඛ්‍ය තාක්ෂණය) නමුන් හදුන්වන්නේ එම දැනුමයි. ඇන්ඩ්‍රොයිඩ් ක්‍රමලේඛනය කිරීමට ඇන්ඩ්‍රොයිඩ් මුඛ්‍ය තාක්ෂණය ගැන යම් තරමක හෝ අවභෝධයක් තිබිය යුතුම වෙනවා.

ඇන්ඩ්‍රොයිඩ් මුඛ්‍ය තාක්ෂණය ( Architecture of Android )


පහත රූප සටහන අධ්‍යනය කරන්න

Android-architecture

ඉහත රූපයේ දක්වා ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ගොඩ නගා ඇති ආකාරයයි. මෙය ඉතා සරල ආකෘතියක් වෙනවා. මා ඉතා සැකෙවින් හා සරළව අවශ්‍යම කරුනු පමනක් පහතින් පැහැදිලි කරන්නම්. ප්‍රධාන වශයෙන් ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය ප්‍රධාන කොටස් 5 කට බෙදා විස්තර කරනු ලබනවා. පහතින් ඒ ස්ථර 5 පිලිබද කෙටි හැදින් වීම දැක්වෙනවා.

Linux Kernel

ඇන්ඩ්‍රොයිඩ් හි පහලතම ස්තරය වන්නේ ලිනක්ස් කර්නලයි. සම්පූර්ණ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියම ගොඩනගා ඇත්තේ මෙම ලිනක්ස් කර්නලය මතයි. ගූගල් සමාගම විසින් ලිනක්ස් හි 2.6 කියන කර්නල සංස්කරනය යොදා ගනිමින් එය උචිතෝන්විත සැකසීමෙන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සාදා තිබෙනවා.
මෙය තුල ඉතා පහල මට්ටම් වලින් දෘඩාංග (hardware) හැසිර වීම, මතකයන් පාලනය (memory management), සකසන පාලනය (process control), ආදිය පාලක අඩංගුවෙනවා

Libraries

මීලඟ ප්‍රධාන ස්තරය මෙය වන අතර එය සතුව ඇන්ඩ්‍රොයිඩ් සදහාම ආවේනික කේත ගොනු (Android’s native libraries) අඩංගු වෙනවා. මෙහි ප්‍රධානතම කාර්ය වනුයේ විවිධ වර්ගයේ දත්ත ආකාර (data types) හැසිරවීමට උපාංගයට (උදා: දුරකථය ) හැකීයාවක් ලබා දීමයි. මෙම කේත ගොනු ප්‍රධාන ලෙසම ලියා ඇත්තේ C++ පරිඝණක භාෂාවෙන්. ඒ වගේම ඒවා දෘඩාංග සදහා විශේෂිත (hardware specified) වෙනවා.

පහතින් මා දක්වනු ලබනේ ඇන්ඩ්‍රොයිඩ් සදහා ආවේණික කේත ගොනු කීපයක්.

Surface Manager

මෙහි ක්‍රියාව තරමක් සංකිර්ණ එකක් වන අතර සරළවම කියතොත් කවුලු පාලක (Window manager) පාලනය කිරීම හා තිරයේ රූපක ගොඩ නැගීම් පාලනය කිරීම සිදු කරනු ලබයි.

Media framework

මෙමගින් විවිධ වර්ගයේ මීඩියා ගොනු (mp3, mp4)ධාවනය සටහන් කිරීම නොහොත් රෙකෝඩින් කිරීම ආදිය සදහා අවශ්‍ය පාලනය, හැකියාව ලබා දෙනවා.

SQLite: SQLite යනු ප්‍රධාන දත්ත ගබඩා කරන ආකාරය වෙයි.

WebKit: HTML ආකාරයේ ගොනු සැකසීම සදහා වෙබ් බවුසරයක ක්‍රියාව සදහා සහය දක්වනවා

OpenGL: මෙය ද්වි මාන (2D) හෝ ත්‍රිමාන (3D) චිත්‍රක (graphics) නිර්මාණයට උපකාරි වෙනවා.

Android Run-time

මෙයට  Dalvik VM (Virtual Machine) හා ජාවා ගොනු (Java Libraries )අඩංගු වෙනවා.

Dalvik Virtual Machine

මෙය එක්තරා අකාරයක JVM (Java Virtual Machine) ක් වන අතර මෙය ඇන්ඩ්‍රොයිඩ් සදහා සැදූ අවම සම්පත් (බැටරිය. සකසනය , මතකය )
ප්‍රමාණයක් භාවිතා කරමින් ධාවනය වීමත සකසා තිබෙනවා. JVM තුල .class ආකාරයේ ගොණු ධාවනය උනත් මෙහි ධාවනය වන්නේ .dex වර්ගයේ ගොනු වීම විශේෂ ලක්ෂනයක්.

ඇන්ඩ්‍රොයිඩ් හි ප්‍රධාන චරිතයක් වෙන මෙම Dalvik වර්චුවල් එන්වයරෝමෙට් එක සංවර්ධනය කර ඇත්තේ ගූගල් ආයතනයේ ඩැන් බෝර්න්ස්ටන් මහතා විසින්.

Core Java Libraries

මෙය Java SE හා Java ME ගොනු වලින් වෙනස් වෙනවා. නමුත් මෙහි ගොනු ඇති බොහෝ ක්‍රියාවන් අතින් Java SE ගොනු වලට සමාන වෙනවා.

Application Framework

අප ලියන ක්‍රමලේඛන කෙලින්ම් ක්‍රියා කරන්නේ මෙම ස්තරය හරහා. එම නිසා ක්‍රමලේඛන ලියන අයට මෙම ස්ථර පිලිබද ඉගෙනීම ඉතා වැදගත් වෙනවා.
මෙම ස්ථරයේ අපට වැදගත් වන ස්තර කීපයක් පහත දැක්වෙනවා.

Activity Manager: සියලුම ක්‍රියාකාරකම් සිදු කිරිම හා එය පාලනය
Content Providers: වැඩ සටහන තුල දත්ත හුවමාරුව පාලනය
Telephony Manager: සියලුම ඇමතුම් හා ඊට අදාල සේවා පාලනය
Location Manager: GPS හෝ සේවා දායකයන් හරහා ස්ථානය හා එහි සේවාවන් පාලනය
Resource Manager: අප යොදා ගනු ලබන විවිධ වර්ගයේ සම්පත් පාලනය කිරීම

Applications

ඉහලින්ම ඇති  ස්තරය මෙය වෙනවා. අපගේ සියලූම වැඩසටහන් අඩංගු වෙන්නේ මෙම ස්තරයේ. පහත ඇත්තේ මෙම ස්තරයේ ඇති වැඩසතහ්න් සදහා උදාහරන කීපයක්.

SMS client app
Dialer
Web browser
Contact manager
Calculator
Talking Cat

දැන් ඔබට ඇන්ඩ්‍රොයිඩ් හි ආකෘතිය ගැන මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් සම්බන්දව දළ අදහස් ඇතැයි මා සිතනවා. මා මෙම ලිපිය මගින් උත්සාහ කරේ ඇන්ඩ්‍රොයිඩ් ක්‍රමලේඛනය සදහා මූලික ආරම්භයක් ලබා ගැනිමයි. මීලඟ ලිපියෙන් ඇන්ඩ්‍රොයිඩ් වින්ඩොව්ස් පාරිසරිකය මත ස්ථාපනය කිරීම හා එමගින් ඉතා සරල වැඩසටහක් සදා ගන්නා ආකාරය පියවරින් පියවර ඉදිරිපත් කරන්ඩ බලා පොරොත්තු වෙනවා.

Posted in Android ක්‍රමලේඛණය | Tagged , , , , , , | ප්‍රතිචාර 18